Tuesday, July 08, 2025
Follow Us
ඉදිරියේ දී අපිට ආණ්ඩුවෙන් යන්න වෙයි - වාසුගේ ආන්දෝලනාත්මක කතාවක්

ඉදිරියේදී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරන අතර තමන් ප්‍රමුඛ අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක වන හෙයින් එය ආණ්ඩුවේ වැඩපිළිවෙලට නොගැළපෙන බවයි නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

ආණ්ඩුව සමඟ සිටින සහෝදර පක්ෂ ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක බවයි ඔහු පවසන්නේ.

වෙනස් මත දැරීම හතුරුකමක් නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටියද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව වාසුදේව නානායක්කාර මහතා කියාසිටියි.

ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව පවසන වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් සඳහන් කරන්නේ මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන් ම බැසයෑමට සිදු වනු ඇති බවයි .

(LNW)