විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවන ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
"විමල් වීරවංශ ඇමතිතුමා, උදය ගම්මන්පිල ඇමතිතුමා, වාසුදේව නානායක්කාර ඇමතිතුමා ගැලරියට සෙල්ලම් කරලා හරියන්නෙ නෑ, අද මේ රටේ ආර්ථිකයත් එක්ක රට ගොඩගන්න කටයුතු කරන්න වෙනවා. හැබැයි ජීවිත කාලෙම ඔවුන් කළේ හැමදාම ගැලරියට සෙල්ලම් කරන එක විතරයි. ඉතිං පක්ෂයට යෝජනා කරනවා විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ"
"එදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තිබුණා, මම වගකීමෙන් කියනවා ඔය තුන් දෙනාම කිව්වා කොටස් විකිණීම ගැන අපේ ප්‍රශ්නයක් නෑ, සොලිඩ් ගෑස් ඒකාධිකාරියක් වෙන එකටයි අපේ ප්‍රශ්නය තියෙන්නෙ කියලා"
ප්‍රශ්නය - මේ දෙදෙනාම කියනවා ඇමති ධුර වලින් ඉවත් වෙන එකත් ප්‍රශ්නයක් නෑ කියලා ....
"ඉතිං ඉවත් වෙලා කතා කළා නම් වටිනවානෙ ඔයිට වැඩිය ? ඇයි ඇතුළෙ ඉඳන් කතා කරන්නෙ ? ඔහොම ගියොත් ඉවත් වෙන්න වෙයි. අපේ පක්ෂයත් විනයක් තියෙන පක්ෂයක්. ඉස්සරහා නායකකම් වලට, ජනාධිපතිකම් වලට ගැලරියට කතා කරලා මග හදාගන්න කියලා කල්පනා කරනවා නම් අපි ඒගොල්ලන්ට ඉඩදෙනවා එහෙම ගිහිල්ලා ඒක කරගන්න. එහෙම නැතුව අපේ ඇතුළෙ අපිව කකා ඒ වැඩේ කරන්න ඉඩදෙන්නෙ නෑ"
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)