Tuesday, July 08, 2025
Follow Us
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළියට බහින්න සූදානමින් - 29 වැනිදා කොළඹදී ජනතා රැලියක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර සාකච්ඡාවක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම තත්වය මත හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමට පත්ව සිටිනවා. එම පක්ෂවල නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී රැස් වී ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී තීරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම්, ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාව සමග සාකච්ඡා කළයුතු බවයි.

වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු සමග බලෙන් සාකච්ඡා කළ නොහැකි බවයි. ජනතාව සමග සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කළ බවද ඇමතිවරයා පවසනවා.

ඒ අනුව ලබන 29 වැනිදා කොළඹදී ප්‍රසිද්ධ රැළියක් පවත්වා ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, ආණ්ඩුවට විරෝධය දැක්වීමටත් තීරණය කර තිබෙනවා. මෙම රැළිය සඳහා වෘත්තීය සමිතිවල දායකත්වය ලබා ගැනීමටද තීරණය කර ඇති අතර ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ ඇත.

(LNW)