Tuesday, July 08, 2025
Follow Us
ජනාධිපති හාල් පරිප්පු පාලනය කරන්න ආපු නායකයෙක් නෙවෙයි නම් කවුද ඒ අයිතිය ඇති බලධාරියා? SJB ප්‍රශ්න කරයි

තමන් හාල් පරිප්පු මිල පාලනය කිරීමට පැමිණි නායකයෙක් නොවෙයි නම් එම අයිතිය ඇති බලධාරියා කවුරුන්ද යන්න පවසන ලෙස සමඟි ජන බලවේගය අවධාරණය කළේය.

ඒ, අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ජනාධිපතිවරයා පත් වූ වහාම මහ මැතිවරණය ඉලක්ක කර පරිප්පු සැමන් මිල අඩුකළ ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන අරමුණකින් ද යන්නයි.

ඊට පසුවත් හාල්, පරිප්පු, සීනි වෙනුවෙන් ගැසට් නිවේදන 07ක් නිකුත් කළේ කුමන අරමුණකින්ද යන්නද විමසන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙලෙස ජනතාවගේ ප්‍රශ්න එනකොට ඒවා මඟහරිමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

''ඇමතිවරුන්ටත් බලයක් නැත්නම්,ආණ්ඩුවටත් බලයක් නැත්නම්,ජනාධිපතිටත් බලයක් නැත්නම් මෙහි බලධාරියෝ වෙන කවුරුවත් නෙවෙයි ව්‍යාපරික මාෆියාවක් බවට පත්වෙලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට ලංකාව පාලනය කරන්නේ ජනතාව පත්කරපු ජනාධිපතිවරයෙක්වත් ආණ්ඩුවක්වත් නෙවෙයි නෙවෙයි කියන මට්ටමකට අද මේ ආණ්ඩුව ඇදගෙන වැටිලා තියෙනවා.''

සහල් මිල පාලනය සම්බන්ධයෙන් කොපමණ නීති දැඩි කළත් හාල් මිල නියම කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව වන අතර ගෑස් මිල නියම කළේ ලාෆ් සමාගම බවත් කිරිපිටි මිල නියම කළේ එම ආනයනික සමාගම් වන බවත් ඉන්දියානු තෙල් සමාගමද හිතුවක්කාරී ලෙස තෙල් ඉන්ධන මිල ඉහළ දැමූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පාලනය කිරීමේ වගකීම ඇත්තේ කා සතුවද යන ප්‍රශ්නය මතුව තිබෙන බවයි අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(LNW)