අධිචෝදනා ලැබූ සාලිට ඇපත් නෑ
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ට එරෙහිව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබූ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි සාලිට චෝදනා එල්ල වී ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරුට භාරදුන්නේය.
අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 2 වනදා සිදුකිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ අතර එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.
අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න තම සේවාදායකයා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය විමසා සිටින බව දැනුම් දුන්නේය.
එම ඇප ඉල්ලීමට එම අවස්ථාවේ විරුද්ධ වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා දන්වා සිටියේය.
ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ “හදිසියයි” හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබේ.
(Aruna)