'කාබනික පොහොර එපා ! රසායනික පොහොර දියව් !' යැයි පවසමින් උද්ගෝෂණය කරන්නේ සැබෑ ගොවීන් නොව දේශපාලන පක්ෂවල සාමාජිකයන් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. උද්ගෝෂණවලට සම්බන්ධ වන පුද්ගලයන් පිළිබඳව රහස් පොලීසියේ නිළධාරීන් යොදවා සොයා බැලූ බවයි ඇමතිවරයා පවසන්නේ.
ඔවුන් කාබනික වගාව හෝ රසායනික වගාව හෝ කිසිදු දැනුමක් නොමැති, කෘෂිකර්මාන්තයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් බව සිදුකළ සොයා බැලීම්වලදී තහවුරු වූ බවද රාජපක්ෂ මහතා පවසනවා.
කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් හුරු කරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ බොහෝදෙනාගේ අපවාද එල්ල වන බව හොඳින්ම දැනගෙන බවත්, මැතිවරණවලට තරග කරන කිසිදු නායකයෙක් එවැනි ආකාරයෙන් සෘජු තීරණ නොගන්නා බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා. එසේ සෘජුව තීන්දු තීරණ ගන්නා නායකයන් දැන් දේශපාලනයේ දක්නට නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.
හෙට දිනයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් අනිවාර්යෙන්ම ආණ්ඩුව පරාජයට පත්වන බව පෙන්වා දෙන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ මැතිවරණ ජයග්‍රහණ බලාගෙන ජනාධිපතිවරයා වැඩ නොකරන බවයි. 'වස විස කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා' යන මතයේ සිට කටයුතු කළේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු අර්බුදයකට මුහුණ නොදී සිටීමේ හැකියාව තිබූ නමුත්, රටේ ජනතාවගේ ජීවිත තැන සිතා කටයුතු කරමින් රසායනික පොහොර තහනම් කිරීමට පියවර ගත් බවද ඇමතිවරයා පවසනවා.
(LNW)