Thursday, April 25, 2024
Follow Us
ඇතුළත ගිනි : අපට සිග්නල් කණු වෙන්න බෑ - රාජ්‍ය ඇමති සුසිල්ගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර ගැටුමේ තවත් ස්වරූපයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ සිදුකළ ආවේගශීලී කතාව තුළින් දක්නට ලැබිණි.

නීති සම්පාදනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති පාර්ලිමේන්තුව තුළ එය සිදු නොකර වෙනත් කොහේ හෝ නීති සකස් කර ඒවා පාර්ලිමේන්තුවට ගෙනවිත් ඊට අත එසවීමට කියන්නේ නම් තමන් ඊට සූදානම් නොමැති බවයි ඒ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

මහජනතාව තමන්ව ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇත්තේ ඕනෑම දෙයකට අත ඔසවන සිග්නල් කණු වීමට නොවන බවත් ඒ මහතා එහිදී තරයේ ප්‍රකාශ කළේය.

"මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නෙ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය වෙන තැනක කරලා මෙතෙන්ට ගෙනල්ලා අපේ අත් උස්සවන්න හදලා හරියන්නෙ නෑ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනයට ඇවිල්ලා නෑ. එහෙම අය ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 1982. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85. දැන් අවුරුදු 36ක්. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒවා දන්නෙ නෑ ....

කොහෙවත් හදනවා නීති, මෙතෙන්ට ගේනවා, කන්සල්ටිව් කමිටි එකට ගේනවා, මෙතෙන්ට ඇවිල්ලා ඉතිං අපි අත උස්සන්න ඕනෙ. ජනතාව අපිව පත්කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාරය තමයි අපි ඉටුකරලා තියෙන්නෙ.

මට මතකයි පසුගිය පාලන කාලයේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය ? පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා, තේරීම් කාරක සභාවක් පත්කරලා, අනුකමිටු හයක් හදලා, ඒ අනුකමිටු හයට තමයි තාක්ෂණ සහාය දුන්නෙ නීති විශාරදයින්. එහෙනම් මේක ව්‍යවස්ථාදායකයද ? අපි මොකටද මේකෙ ඉන්නෙ ? අද සමහරු දන්නෙ නෑ ව්‍යවස්ථා හදන්නෙ කොහොමද කියලා ....

මේවා කියන්න අපි බය නෑ. පාර්ලිමේන්තුවට අපිව එවලා තියෙන්නෙ ජනතාව ඡන්දෙන් පත්කරලා. මං සන්ධානේ ලේකම් හිටියත් කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියෙ නෑ. නාමයෝජනා 12ක් හදලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ නාමයෝජනා තුනක් අත්සන් කරලා තියෙනවා මම. සමහරුන්ට ඒවා මතකත් නෑ"

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

(LNW)