Tuesday, April 23, 2024
Follow Us
රිෂාඩ් ගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීරණය

විල්පත්තු රක්ෂිතය අවට පිහිට කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 03 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

මෙම අභියාචන පෙත්සම අද දින විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විභාගය සදහා දින නියම කරන ලදී.

අභියාචනාධිකරණය තමා සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 16 වෙනිදා ලබා දුන් තීන්දුව ඉවතලන නියෝගයක් නිකුත් කරන ලෙසට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා සිය අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ පුද්ගලික වියදමින් එම ප්‍රදේශ වල නැවත වන වගාවන් ඇති කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබුණා.

අභියාචනාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමෙන් පෙත්සම්කරු අයදීමක් කර නොතිබුණු සහනයක් අභියාචනාධිකරණය ලබා දී බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට ලබා දීමට බලයක් නොමැති බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසා සිටින්නේ.

නැවත පදිංචි කිරීම් ඇතුළු කටයුතු සිදු කිරීම විවිධ පාර්ශවයන්ගේ මැදිහත් වීම් තුලින් සිදු වුවත් එය තමන්ගේ මූලිකත්වයෙන් පමණක් සිදු වූ බවට අභියාචනාධිකරණය තීන්දු කිරීම දෝෂ සහිත බව මන්ත්‍රීවරයා පවසා සිටින්නේ.

මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මුල් පෙත්සම ගොනු කරනු ලැබුවා.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

(Neth)