Wednesday, April 24, 2024
Follow Us
විමල්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් තෙවැනි මග එළිදකී ....

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ "නිදහසේ නියමුවෝ" ප්‍රකාශනයක් ලෙස "තෙවැනි මග" මාසික සඟරාව ජනගත කිරීම ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සිදු කෙරිණි.

"නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්වෙලා ඉන්න ජනතාවට ඒ උත්තරය ගැන කථිකාවක් ඇතිකිරීම තමයි අපේ අරමුණ.

අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. වසංගතය අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝගත් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි අපිට කවර ආකාරයකින්වත් මගහරින්න බැරි අභියෝග තියෙනවා. ඒවාට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්. අද බැලුවාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ. මං හිතනවා, මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා. සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා.

දැන් අපි ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවක. ඒ නිසා දැන් අපිට තෝරා ගන්න වෙන්නේ මේ විශේෂ තත්ත්වය දකින්න පුළුවන්, ඒක අබිබවන්න පුළුවන්, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් උත්තර. ඒ උත්තර අපි විසින් සපයාගතයුතුව තිබෙනවා. අපි මෙතෙක් දේශපාලනයේ ඉටුකරන ලද කාර්යභාර්යයේ තීරණාත්මක පිළිතුරු සැපයීම කරා දැන් මුහුණ දෙමින් සිටිනවා. හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු නැති ඩොලර් මිටි එක්ක ගනුදෙනු තියෙන අයට මේවා තේරෙන්නේ නෑ. තෙවැනි මග සඟරාවක් පමණක් නෙමෙයි. මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිලෙන..කෝ අපේ මාවත කියලා නැගෙන ප්‍රශ්නයට උත්තර දෙන සංවාද මණ්ඩපයක් බවට පත්වේවි" යනුවෙනුයි එම උත්සව අවස්ථාව අමතමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂත්වය බලාපොරොත්තුවෙන් සිටින බව රටට රහසක් නොවේ. තමන්ම එකතු වී බලයට ගෙනා ආණ්ඩුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට ලක්වෙද්දී සාමුහිකව වගකීම ගෙන ඊට මුහුණ දෙනවා වෙනුවට විමල්ලා මේ සැරසෙන්නේ අසාර්ථකත්වයේ වගකීම සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් පිට පටවා බොරදියේ මාළු බාන්නට බව පැහැදිලිය. වසර දෙකකට පෙර තමන්ම සුදුසු යැයි කියා ජනතාව පොළඹවා ලබාදුන් උත්තරය දැන් තමන්ම නුසුදුසු යැයි ප්‍රසිද්ධියේම කියන්නේ ඒකටය.

(LNW)