Friday, April 26, 2024
Follow Us
සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුයි - පොහොට්ටු ලේකම්

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම සාවද්‍ය සහ වෛරී මත පැතිරවීමක් සිදුකෙරෙන බැවින් සමාජ මාධ්‍ය නියාමනයකට ලක් කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

"අද මේ සමාජ මාධ්‍ය හරහා ඉතා වැරදි සහ වෛරී මත පැතිරවීම සිදු කරනවා. නමුත් මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසියම් වූ නීති රාමුවක් නෑ. අපට පෙනී යනවා තරුණ පරපුරේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වෙලා තියෙන්නෙ සමාජ මාධ්‍ය. මොකද ඔවුන් පුවත්පත් කියවීමෙන් සහ රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමෙන් බොහෝදුරට ඈත්වෙච්ච පිරිසක්. ඔවුන් තමන්ගෙ තොරතුරු ලබාගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිතා කරන්නෙ සමාජ මාධ්‍ය.

මේ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු යෑම මං හිතන්නෙ මේ රටට වින කරන, මේ රටේ ස්ථාවරභාවය නැතිකරන පිරිස් එය ඉතාම හොඳ අවස්ථාවක් කරගෙන, එය තෝතැන්නක් කරගෙන තියෙනවා. අපි දන්නවා මේ රටේ නිදහසෙන් පස්සෙ මේ රට වඩාත්ම සංවර්ධනය කරපු නායකයා මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමාට එරෙහිව සමාජ මාධ්‍ය කොහොමද කටයුතු කළේ කියලා පහුගිය කාලේ. අද වනවිටත් එවැනිම වූ තත්වයක් සමාජ මාධ්‍ය තුළ නැවත ඇතිකරමින් ක්‍රියාත්මක කරමින් යනවා.

ඒක නිසා මම යෝජනා කරන්න කැමතියි මේ සමාජ මාධ්‍යවල පළවන තොරතුරු - මම කියන්නෙ සමාජ මාධ්‍ය තහනම් කරන්න කියන එක නෙවෙයි - මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සොයලා ඒ තොරතුරේ අඩංගු කරුණු සම්බන්ධයෙන් යම්කිසි ආයතනයක් මගින් සොයලා එහි නිවැරදිතාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් නියාමනයක් කරන්න පුළුවන් නම් මං හිතන්නෙ මේ රටට කරන සුගතියක්, මේ රටට කරන උදව්වක්"

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

(LNW)