වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට කියන්නට තිබෙන්නේ, 'හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්' යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහාරාම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
මේ ආණ්ඩුව මුලු රටම මහා ප්‍රපාතයකට තල්ලු කොට ඇති අතර පාන් ගෙඩියක් ගන්නට වීල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගතවනු ඇති බවත් දිනෙන් දින රට ආර්ථික වශයෙන් බංකොලොත් අඩියකට වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය පුදුමයක් නොවන බව පැවසූ විපක්ෂ නායකයා, ඒ තරමටම ආණ්ඩුව අසමත් බවද පවසනවා.
ගොවි ජනතාව ගොවිබිමෙන් ඈත්කොට එම පුරන් ඉඩම් දේශීය විදේශීය බහුජාතික සමාගම්වලට ආණ්ඩුව විසින් ලබා දෙනු ඇති බවත් ඉන් අනතුරුව දේශීය ගොවියාට යලි හිස එසවිය නොහැකි බවත් විපක්ෂ නායකයා පැවසීය. ගොවියාගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තීන්දු කළ බවත් වෙනත් කිසිවෙක් එවැන්නක් සිදු නොකළ බවත් සමගි ජනබලවේගය ප්‍රායෝගික සහ සත්‍යවාදී දේශපාලන බලවේගයක් බවත් ඒ මහතා සඳහන් කරනවා.
රටට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදුව ඇතත්,එවැන්නකට අවශ්‍ය විදෙස් සංචිත රටට නැති බව පැවසූ විපක්ෂ නායකයා මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් මීට පෙර අසන්නට ලැබී නැති බවද කීය.
තමන්ට සුරකින්නට නෑදෑ පරපුරක් නැති බව පැවසූ ප්‍රේමදාස මහතා, තමන්ගේ නෑදෑ පරපුර මේ රටේ සමස්ත ජනතාව සහ තමන්ගේ දරුවන් වන්නේ මේ රටේ සමස්ත දරු පරපුර බැවින් ඔවුන්ට කිරුළ පැළඳවීම තම සිහිනය බවද පවසනවා.
(LNW)