Monday, July 07, 2025
Follow Us
පොහොට්ටුවේ කොන්ත්‍රාතුව කරගැසීමට මෛත්‍රී සූදානමින් ....

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

ආණ්ඩුව සිටින්නේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමේ වුවමනාවක් ඇතිවය. එය ආකාර කිහිපයකින්ම ඔවුන්ට වැදගත් වේ. පළමුවැන්න වන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ෂේප් කරගැනීමයි. 2022 ජිනීවා සමුළුවට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා දැනට පවතින ව්‍යවස්ථා රාමුව තුළ හෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන බව නොපෙන්වුවහොත් ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වනු ඇත. ( එවැන්නක් වළක්වා නොගතහොත් නම් එහි වන්දිය ගෙවන්නට වන්නේ ජනතාවටමය. )

දෙවැන්න නම් ආණ්ඩු පක්ෂයේම හිටපු පළාත් සභා මැති ඇමතිවරුන්ගෙන් එල්ල වන විරෝධය සමනය කරගැනීමයි. දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ සංවිධායක තනතුරු දැරූ හිටපු පළාත් සභා නියෝජිතයින් පසුගිය ජනාධිපතිවරණයට හා මහමැතිවරණයට උපරිම දරදිය ඇද්දද ඔවුන්ට මෙතෙක් ලැබුණු දෙයක් නැත. එහෙයින් තමන්ට පෙර පැවති පළාත් සභා මැති ඇමති තනතුරු යළි ලබාගැනීමට අවස්ථා සලසන ලෙස ඔවුන් පීඩනය එල්ල කරන්නේ කලක සිටය.

 

තුන්වැන්න නම් රට තුළ ඉහළ නඟිමින් පවතින ආණ්ඩු විරෝධය පාලනය කරගැනීමයි. දැනට තම තමන්ගේ ප්‍රශ්න හේතුවෙන් ගොවීන්, ධීවරයින්, ගුරුවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සාමුහිකව විරෝධතාවන්වල නියැළුණ ද මේ මැදට මැතිවරණයක් අතහැරියහොත් සිදුවන්නේ ඔවුන් බෙදී විසිරී සීසීකඩ යාමය. ජයග්‍රහණය සම්බන්ධයෙන් ආණ්ඩුවට කුකුසක් නොමැති තත්වයක් තුළ මෙය ඔවුන්ගේ පැත්තෙන් සාර්ථක දේශපාලන උපක්‍රමයකි.

මෙකී නොකී හේතූන් මත ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමට වුවමනා වුවත් ඊට ආණ්ඩුව තුළින්ම යම් පරහක් තිබේ. ඒ, ආණ්ඩුව තුළ සිටින සිංහල ජාතිවාදී කුඩා පක්ෂ සහ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට පෙරමුණ ගෙන ක්‍රියාකළ ඇතැම් ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා පළාත් සභා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීමයි. එම පක්ෂ සහ දේශපාලන භික්ෂු චරිත දෙස බැලූ විට ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇත්තේම මෙවැනි සිද්ධීන් අළලා ජාතිවාදය ඇවිස්සීම තුළමය. මේ ආණ්ඩුවේ මූලික පදනම සෑහෙන දුරට රැඳී ඇත්තේත් එකී ජාතිවාදී ප්‍රවාහය මතය. එහෙයින් ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රතිචාරය නොසලකාම හැරිය නොහැක.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලාගෙන පෙරට පනින්නේ මෙවැනි අවස්ථාවකය. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලධාරීන්ගේ පැත්තෙන් ගත් කළ අතිශයින්ම සහනදායී ය. මන්දයත් විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා, ගෙවිඳු කුමාරතුංගලා ඇතුළු පළාත් සභා විරෝධී ආණ්ඩුවේ කුඩා පක්ෂ මෙතෙක් විවිධ හේතූන් මත ආණ්ඩුවට අභියෝග කරමින් සිටියේ ශ්‍රීලනිපයේ හයිය ඇඟට ගෙන නිසාය. මෙම කුඩා පක්ෂ 11 වෙනම පක්ෂ නායක රැස්වීම් පවත්වමින් ආණ්ඩුවට විවිධාකාරයෙන් තග දමමින් සිටියේ ශ්‍රීලනිපයේ මන්ත්‍රී ධුර 14 සමග ඇති කේවල් කිරීමේ හැකියාව නිසාය. නමුත් ශ්‍රීලනිපය විවෘතවම මුලින්ම පෙරට පැන පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටිනා විට පෙරකී සෙසු කුඩා පක්ෂවලට සිදුවන්නේ තමන්ගේ විරෝධය හකුළාගෙන ඇඟ බේරාගැනීමටය.

විශේෂයෙන් පසුගිය මාස කිහිපයක් තුළ විමල්ලා, ගම්මන්පිලලා රටට පෙන්වන්නට උත්සාහ කරමින් සිටියේ ආණ්ඩුවේ සැබෑ අයිතිකරුවන්, නිර්මාණකරුවන් තමන් බවකුත් තමන්ට පිටින් යන්නට තරම් හයියක් ආණ්ඩුවේ කිසිවෙකුටත් නොමැති බවකුත් ය. පළාත් සභා මැතිවරණය කැඳවීමත් සමග එකී ස්වයං නිර්මිත මිත්‍යාව සදහටම අහෝසි වී යාමට නියමිතය.

මෛත්‍රී ද මෙතැනට එන්නේ නිකම්ම නොවේ. ඔහුත් එක ගලෙන් කුරුල්ලන් කිහිපදෙනෙකුම බාගැනීමට උත්සාහ දරනු ඇති අතර බොහෝදුරට ඒවා සාර්ථකත් වනු ඇත. නමුත් ඒ කිසිවක් පොහොට්ටුවේ ප්‍රධානීන්ට ගැටළුවක් වන්නේ නැත. ඒ අනුව මෛත්‍රී මේ කරගහන්නේ මෑත කාලයෙහි ආණ්ඩුවෙන් ලැබෙන ලොකුම කොන්ත්‍රාතුවටය.

( මැතිවරණයක් පැවැත්වීමට මේ මොහොත සුදුසු ද යන තර්කය උස්සා පළාත් සභාව යට ගහනවාට වඩා ප්‍රශ්න මැද්දෙන් හෝ මැතිවරණය පැවැත්වීම රටේ පැත්තෙන් දීර්ඝ කාලීනව බලනවිට වැදගත්ය )

(LNW)