අපේ ජනබල පක්ෂයට පසුගිය මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂයට අයිත් මන්ත්‍රී ධුරයක් බවත්, එම මන්ත්‍රී ධුරය අවභාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා පවසනවා. රටේ ජනතාව පක්ෂයට ලබාදුන් ඡන්දය දේශපාලන ඩීල් සඳහා අවභාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි කොඩිතුවක්කු මහතා පවසන්නේ.
මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර කෙසේ නමුත් පාර්ලිමේන්තුව රැස්ව මාස හතරක් යනතෙක් මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට නොහැකි විය. ඊට හේතුව මන්ත්‍රී ධුරය සඳහා පාර්ශ්ව කිහිපයක් හිමිකම් කීමට ඉදිරිපත් වීමයි. මේ අතරතුර පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමි අතුරුදන් විය.
අවසානයේදී අතුරලියේ රතන හිමි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර කෙසේ නමුත් මේ වනවිට රතන හිමි පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එම තීරණය මැතිවරණ කොමිසම වෙතද දැනුම් දී ඇති අතර ඉදිරියේදී රතන හිමිට මන්ත්‍රී ධුරය අහිමිවීමට ඉඩ තිබෙනවා.
සුසන්ත කොඩිතුවක්කු මහතා පවසන්නේ මන්ත්‍රී ධුරය සඳහා පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නමද ඒ සඳහා යෝජනා වී ඇති බව ඔහු පවසයි.
(LNW)