Wednesday, October 23, 2024
Follow Us
ජවිපෙ අපේක්ෂකයා නිසා එජාපය පසුබසී ද?

ප්‍රධාන දේශපාලන කඳවුරැ දෙකට බොහෝ දෑ කිරා මැන ගැනීම සඳහා දැන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය මගින් ඉඩ සදා දී තිබේ.

ජවිපෙ පාක්ෂිකයන්ගේ ප්‍රාර්ථනාව අනුව දැන් සිය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සටනට පිවිස සිටියි.

දේශපාලන කඳවුරු බෙදීම තුළ ජවිපෙ තුන්වෙනි තැන පසු වුවද ඔවුන්ගේ ක්‍රමික දේශපාලන වර්ධනය විසින් බලපෑම් සහගත කණ්ඩායම ලෙස දැන් ස්ථාවර වී හමාරය.

එය පසුගිය 2005,2010,2015 ජනාධිපතිවරණ හරහා ජවිපෙ සනාථ කර තිබේ.

2005 සහ 2010 මැතිවරණ වලදී මහින්ද රාජපක්ෂ මහතාට සහ සරත් ෆොන්සේකා මහතාට සෘජුව ජනතා විමුක්ති පෙරමුණ සහය දැක්වූ අතර 2015 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක සටනට ජවිපෙ වක්‍රව සහභාගී වී දායක විය.

ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්ෂ විරෝධී කඳවුර ශක්තිමත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවට ගෙන එම සඳහා වූ මතවාදී සටන පෝෂණය කළේ ජනතා විමුක්ති පෙරමුණය.

එහෙත් මේ ගෙවුණු සිව් වසරක පමණ කාලය තුළ "යහපාලන ආණ්ඩුවේ" හැසිරීම් 2015 දේශපාලන ජයග්‍රහණ සෝදා පාළුවට හරිමින් සිටිනු දක්නට ලැබුණි.

එහි ප්‍රථිපලයක් ලෙස රාජපක්ෂ කඳවුර යළි හිස එස වූ අතර බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් ගොඩනගන්නට තරම් වූ අවකාශයක් යහපාලනය විසින් සකස් කර දුන්නේය.

ඒ අනුව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වාරු නැති තත්ත්වයට පත්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කරළියට ගෙන විත් තිබේ.

එදා මෛත්‍රී යුගයක් වෙනුවෙන් සිය ජන්ද මුදාහළ ජවිපෙ අද ජාතික ජන බලවේගය හරහා විකල්පය ලෙස එක් වෙමින් සිය අපේක්ෂකයා ජනගත කර හමාරය.

 

ජවිපෙ හයිය

ජවිපෙ විසින් සමාජගත කළ මෙම දේශපාලන හැරවුමෙන් දැන් යම් විමතියක් ගොඩනගමින් තිබේ.

ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මෙවර ද ජනතා විමුක්ති පෙරමුණේ සහය 2015 දී මෙන් වක්‍රව ලබා ගැනීමේ හැකියාව පැවති බව අපේ හැඟීමයි.

එහෙත් එය දැන් දුරස් කර ගෙන ඇත්තේද ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය විසිනි.

ඔවුන්ට තවදුරටත් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා සහ සන්ධානය ගැන අවසන් තීන්දුවකට පැමිණීමට හැකි වී නැති අතර තම තමන් තෝරා ගත් අය පෙරමුණට ගෙන ඒම වෙනුවෙන් රැළි ගොඩනගමින් දියයටින් ගින්දර ගෙන යන තත්ත්වයට පත්ව තිබේ.

මැතිවරණ ජයග්‍රහණය ගැන සිතන්නේ නම් එජාපය මීට වඩා විචක්ෂණශීලීව සහ සංවරව පොදු දේශපාලන හැසිරීම් කියවා ගත යුතුය.

එසේ නොවන තත්ත්වයක් තුළ ඔවුන්ගේ පසුබැස්ම වැළැක්වීමට එජාප පාක්ෂිකයන්ට නොහැකි වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා විසින් දැනටමත් එජාපයට කොනිත්තා හමාරය.

එය අපට ඉලක්කම් වලින්ම පෙන්වාදිය හැකිය.

මේ වන විට ලියාපදිංචි ජන්ද ප්‍රමාණය මිලියන 16.3කි. මෙම ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් මෙවර ජන්දය භාවිතා කිරීමේ හැකියාව ඇත්තේ 79%ක පමණ ප්‍රතිශතයකටය. එනම් මිලියන 12.877ක පමණ ප්‍රමාණයකි.

කිසියම් පක්ෂයකට හෝ සන්ධානයකට ජයග්‍රහණය කිරීමට නම් අවම වශයෙන් ලබාගත් ජන්ද ප්‍රමාණය 50.1%ක් විය යුතුය. ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත හොත් ජන්ද 64,51,377ක් ලබා ගත යුතු වෙයි. මේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අවම මට්ටමය.

මෙම කණ්ඩායම A ලෙස ගත හොත් ජනතා විමුක්ති පෙරමුණ සහ සෙසු පක්ෂ අතහැර අනෙක් ප්‍රධාන කණ්ඩායමට ඉතිරි වන්නේ 43.9ක ජන්ද ප්‍රතිශතයකි. එම කණ්ඩායම අපි B ලෙස නම් කරමු.

අවසන්වරට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ 1999 වසර පාදක කරගනිමින් ඔවුන්ගේ ජන්ද ප්‍රතිශතය 4.3% ලෙස දැක්වුවහොත් ඔවුන් ජන්ද 5,53711 හිමිකම් කියයි. ජවිපෙ මෙම ජන්ද ප්‍රමාණය නඩත්තු කරන හෙයින් අදටත් ඔවුන් සතුව ජන්ද ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයක් වෙයි.

සෙසු සියලුම පක්ෂ හිමිකරගන්නා ජන්ද ප්‍රතිශතය 0.8%ක් පමණ වන අතර එහි සංඛ්‍යාත්මක අගය ජන්ද 1,03,016ක පමණ ප්‍රමාණයකි.

මේ අතර තවත් 0.9% ජන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේපිත ජන්ද ගොන්නට වැටෙයි. එහි ජන්ද 1,15,893ක පමණ ප්‍රමාණයක් දැක්විය හැකිය.

ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍ය 50.1% ජන්ද ප්‍රතිශතය පසෙකින් තබා ජනතා විමුක්ති පෙරමුණ, සෙසු පක්ෂ සහ ප්‍රතික්ෂේපිත ජන්ද ඉවත් කළ විට ඉතිරි වන්නේ 43.9ක ප්‍රතිශතයකි.

ඒ අනුව මෙම ප්‍රධාන කණ්ඩායම් දෙක අතර පරතරය ජන්ද 7,98,374කි.

ජන්ද හරඹයේ ඉලක්කම් පෙරළිය මෙසේ වන විට 2015 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරා රැගෙන ආ ආකාරය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රටේ මුල් පුරවැසියා බවට පත් වූයේ ප්‍රධාන කොටම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සෙසු පක්ෂයන්හි ජන්දවලින් බව ඉතා පැහැදිලිය.

එහෙයින් ඔවුන් අහිමි වීම විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සතුව පවතින ජන්ද ලක්ෂ පහක පමණ ප්‍රමාණය ඉතා බලපෑම් සහගත තත්ත්වයක් බව කිව යුතුමය.

මෙවරද ලක්ෂ 40ක පමණ ප්‍රමාණයක් පාවෙන ජන්ද ගොන්නට එකතු වී ඇති හෙයින් දේශපාලන අතිපණ්ඩිතකම් පසෙක තබා එම ජන්ද ගොන්නට ආමන්ත්‍රණය කිරීමට මේ කඳවුරුවලට හැකි විය යුතුය.

එයද මේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක ලෙස පෙනී සිටින අය ඉගෙනගන්නේ ජවිපෙන්ම වීමේ ඉඩකඩ නැතුවා නොවේ.

 

එජාපය, එජාපය විසින්ම රවටා ගැනීම

මහින්ද රාජපක්ෂ කඳවුර වටා සිටින ජන්ද බලවේගය ඔවුන්ට අනන්‍ය වූ තත්ත්වයක් වන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂයට දැන් සෙසු බලවේග සියල්ලම සමඟ හැර ජයග්‍රහණයක් ගැන සිතීම තම තමන්ගේ සිත් රවටා ගන්නවාට වඩා වැඩි යමක් නැත.

එහෙයින් දැන් එක්සත් ජාතික පක්ෂයට නිවැරදිම තීන්දුව ගන්නවා හැර අත්හදා බැලීමට දෙයක් නොමැති බව සහතික කර ඇත්තේ අප නොව එදා ඔවුන්ගේ සහයට තිරයෙන් පිටුපසට වී දැඩි පරිශ්‍රමයක් දැරූ ජනතා විමුක්ති පෙරමුණ විසින්මය.

මෙම යතාර්ථයට එජාපය පිටුපාන්නේ නම් ජයග්‍රහණය කොයිබටද යන්න අමුතුවෙන් කියා දිය යුතුද නැත.

(LNW)