Sunday, July 06, 2025
Follow Us
රාජ්‍ය මාධ්‍ය විසින් මාධ්‍ය සදාචාරය කෙලෙසීම - පාඨලීගෙන් ඩලස්ට ප්‍රසිද්ධ ලිපියක් !

ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට ඩලස් අලහප්පෙරුම මහතා පත් කිරීමත් සමග ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අලුත් බලාප‍ොරොත්තුවක් රටේ සියලුදෙනා තුළ ඇති වූ නමුත් මේ වනවිට එම බලාපොරොත්තුව වියැකී යමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා වෙත ප්‍රසිද්ධ ලිපියක් යොමු කරමින් පවසන්නේ, රාජ්‍ය මාධ්‍ය ආයතන විසින්ම ජනමාධ්‍ය සදාචාරය කෙලෙසමින් සිටින බවයි. රජය යටතේ පාලනය වන රූපවාහිනී මාධ්‍ය ආයතන දෙකෙන්ම පසුගිය 17,18 යන දිනවලදී තමා ඉලක්ක කරමින් දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළ බවයි ඔහු සිය ලිපියෙන් දැනුම් දෙන්නේ.

මා හිතවත් අමාත්‍යතුමනි,

රාජ්‍ය මාධ්‍ය විසින් මාධ්‍ය සදාචාරය කෙලෙසීම

ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මෑතකදී භාරගත් ඔබ රාජ්‍ය මාධ්‍ය ඇතුලු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ යහපත් වෙනස්කම් හඳුන්වාදීමට පුරෝගාමී වනු ඇතැයි රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගී තිබිණි. ඔබේ පත්වීම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් ඉතා සුහදව පිළිගත් ආකාරයද අපි දුටුවෙමු. අප වෙනස් දේශපාලන මත දැරුවද ඔබ එම අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සුපහන් හැඟීමක් අප අතරද මතු වී තිබිණි. එයට හේතුවී තිබුනේ ජනමාධ්‍ය වෘත්තිකයකු ලෙසත් එම වෘත්තියේ අචාර ධර්ම වෙනුවෙන් දිගින් දිගටමපෙනී සිටීමත්, වාර්ගික හා ආගමික ගැටුම්වලට තුඩුදෙන දේශපාලන මෙහෙයුම්වලට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිීමත් යන කරුණු නිසා ඔබ කෙරෙහි කිසියම් කීර්තියක් ගොඩනැගී තිබීම නිසාය.

එහෙත් ඔබ මාධය පිළිබද දක්වන එම යහපත් ආකල්පවලට සපුරා පටහැනි වන ලෙස ඔබේ මෙහෙයවීම යටතේ පවතින ජනමාධ්‍ය ආයතන ඉතා සාහසික ලෙස චරිතඝාතනය කරමින්, සත්‍ය කරුණු විකෘති කරමින් අලුත් ආගමික ගැටුමක් ඇවිලවීමට මං පාදමින් කරගෙන යන්නාවූ ලැජ්ජා සහගත මාධ්‍ය භාවිතය ඔබේ අවධානයට ලක් නොවී තිබීම අපගේ පුදුමයටත් කණගාටුවටත් හේතු වී ඇත.

පසුගිය සැප්තැම්බර් 17,18 දිනවල ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක මා ඉලක්ක කරගනිමින් සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ ඉතා ඉහල ප්‍රමුඛතාවකින් යුතුව මුදාහල විසකුරු මඩ ප්‍රහාරය ආසන්නම උදාහරණයක් ලෙස පෙන්වා දීමට සිදුවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන් මතුවී තිබෙන අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් මා කතෝලික පල්ලිය සමග එක්ව කුමන්ත්‍රණය කරමින් ආගමික ගැටුමක් නිර්මාණය කරමන් සිටිනා බව කියවෙන පදනම් විරහිත අසත්‍ය ප්‍රබන්ධයක් මාධ්‍ය ආචාර ධර්ම කිසිදු විලි ලැජ්ජාවකින් තොරව බිඳ දමමින් මුදාහැරීමට එම මාධ්‍ය ආයතන කටයුතු කර තිබිණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ අප දැරු මතය අප ඉතා ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේත් විවිධ විමර්ශන කමිටු ඉදිරියේත් ආගමික නායකයන් ඉදිරියේත් පැවසූ බව ඔබද දන්නා කරුණකි. රටේ සෙසු අයට පැවසීමට එක් මතයක් සහ කතෝලික පියතුමන්ලාට පැවසීමට තව මතයක් අපට නැත. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ඔබ සම්බන්ධ වී සිටින රජයට අවංක වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ අප පෙන්වා දුන් කරුණු විමර්ශන කටයුතු සඳහා යොදාගැනීම මිස අප ඉලක්ක කර ගෙන මඩ ප්‍රහාර මුදා මැරීම නොවේ. එසේම ඉහත කී මාධ්‍ය ප්‍රබන්ධය ඇතුලෙහි කතෝලික පල්ලියට සම්බන්ධ පියතුමන්ලා එකිනෙකා කෙ⁣රෙහි බිඳවීමත්, කතෝලික ජනයා සහ බෞද්ධ ජනයා අතර විරෝධතා හැගීම් මතුකරීමේ දුෂ්ට වෑයමකුත් බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. තවද මේ පදනම් විරහිත මාධ්‍ය ප්‍රබන්ධය ප්‍රතික්ෂේප කරමින් අප පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට සාධාරණ ඉඩක් ලබා නොදෙමින් පුරවැසියකු සතු පිළිතුරු දීමේ අයිතියටද එම මාධ්‍ය ආයතන නිගරු කොට තිබිණි.

අප මේ කරුණු මතු කරන්නේ අපට පුද්ගලිකව සිදුවූ හානියක් පිරිමසා ගැනීමේ අභිප්‍රායකින් නොව මෙබඳු මාධ්‍ය සැහැසිකම් නිසා සිදුවන දිගුකාලීන සමාජ හානිය පිළිබඳ අප සංවේදී වන බැවිනි. ලෝකයේ බොහෝ ලේ ගලා ගිය වාර්ගික ආගමික ගැටුම් ව්‍යාප්ත වීමට හා නිර්මාණය වීමට ජනමාධ්‍ය ක්‍රියාකර තිබෙන ආකාරය පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබෙන බව අපි දනිමු. මෙබඳු සාහසික මාධ්‍ය මෙහෙයුම් නිසා අනාගතයේදී වාර්ගික ආගමික ගැටුමක් නිර්මාණය වුවහොත් එහි වගකීම මේ මාධ්‍ය අයතන මෙහෙයවන ඔබ පිටද පැටවෙන බව කණගාටුවෙන් වුව සඳහන් කරමි. තම දේශපාලන ප්‍රතිවාදියාට පවා 'මඩෙන් නැතිව ගොඩෙන් එන්න' යනුවෙන් අභියෝග කළ පුද්ගලයකු ඇමතිවරයකු වූ අමාත්‍යංශයකින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතන මෙබඳු අශීලාචාර මට්ටමක ඇද වැටී තිබියදී ඒ පිළිබඳව කිසිවක් නොකර නොදුටුවා සේ බලා සිටින ඔබගේ හෘද සාක්ෂියට නැවතත් කන්දෙන ලෙස ඔබගේ පැරණි මිතරකු ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සි⁣⁣ටිමි.

(LNW)