Sunday, July 06, 2025
Follow Us
බාර් අරින්න තීන්දු කිරීම ගැන අපිත් දන්නෙ නෑ - නාමල් රාජපක්ෂ

සුරාසැල් විවෘත කිරීම සඳහා ගෙනඇති තීන්දුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් මර්දන කමිටුව හෝ ආණ්ඩුව හෝ එවැනි තීරණයක් නොගත් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

තංගල්ලේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා වසංගතය යම් ප්‍රමාණයකට හෝ මර්දනය කර නැවත රට විවෘත කිරීමට සූදානම් වෙද්දී සෙනඟ පිරෙන්නේ බාර් ඉදිරිපිට නම් ඉන් එහාට රට ගමන් කරන්නේ කොතැනකටද යන්න පිළිබඳව දෙතුන් වරක් කල්පනා කළයුතු බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

අත්‍යවශ්‍ය අවශ්‍යතා පවා සම්පූර්ණ කරගත නොහැකි ආකාරයට ආර්ථික අපහසුතා තිබෙන බවට ජනතාව ප්‍රකාශ කළද සුරාසැල් විවෘත වූ පසුව එවැනි තත්වයක් දක්නට නොලැබුණු බවත්, ඇඳිරි නීතිය තිබියදී පවා සුරාසැල් අසල ජනතාව රැස්කමින් සිටි බවත් ඇමතිවරයා සඳහන් කරනවා. ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදී වැඩපිළිවෙලක් සමග කටයුතු නොකළහොත් ඉදිරියේදී තත්වය දරුණු විය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

(LNW)