Sunday, July 06, 2025
Follow Us
එල්ලුම් ගහ ගැන බලන්න ලොහාන්ට නැතුව වෙන කාටද අයිතිය තියෙන්නෙ - ජොනී

චෝදනා එල්ල වූ රාජ්‍ය ඇමතිවරයෙකු තනතුරින් ඉල්ලා අස් වූ පළමු වතාව ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම බවත්, වත්මන් රජය විනයගරුක රජයක් බව ඉන් පෙන්වා දී ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වෙනත් රටවල මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වූ අවස්ථාවලදී ඔවුන් ඉල්ලා අස්වන ආකාරය පෙන්වමින් එවැනි සංස්කෘතියක් මෙරට තුළ නොමැති බව ජනතාවගේ මතය වී ඇතැයි පවසන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එම සංස්කෘතියද මෙරටට හඳුන්වා දී ඇති බවයි.

එල්ලුම් ගහ පිළිබඳව සොයා බැලීමට බන්ධනාගාර විෂය බාර අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතාට අයිතියක් තිබෙන බවත්, එල්ලුම් ගහ පිළිබඳව නිරීක්ෂණ කිරීම වැරැද්දක් නොවන බවත් ජොන්ස්ටන් ඇමතිවරයා සඳහන් කරනවා. කෙසේ නමුත් එල්ල වූ චෝදනා හේතුවෙන් රජය අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබා ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වූ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ හරහා ඔහු වැරැද්දක් සිදුකර තිබේද යන්න හෙලිවනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

'මැතිවරණයක් තිබ්බොත් හොඳයි විපක්ෂ නායකවරයාගේ තත්ත්වය දැන ගැනීමට. ජනාධිපති මැතිවරණය ඉවර වූ පසු මැතිවරණ තියන්න එපා, නැවත පාර්ලිමේන්තුව රැස්කරන කියලා අභියෝග කරපු නායකයා තමයි මේ විපක්ෂ නායක් ප්‍රේමදාස මහත්තයා. ඔහු විපක්ෂ නායකයවරයා ලෙස සිටින තාක්කල් අපේ රජයට හොදයි. ඒක නිසා අපේ රටේ ජනතාවට වර්තමාන රජය තියෙනතාක් සහ ප්‍රේමදාස මහත්තයා විපක්ෂනායක තනතුරේ සිටින තාක් කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රේමදාස මහත්තයාගේ වචන නිකන් දේශපාලන වචන පමණයි. කිසිම තේරුමක් බරක් ඒ වචන වල අන්තර්ඝත වෙලා නැහැ.'

'මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි. ලෝකයේ විවිධ රටවල් වල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු උනාම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කලේ. එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද. තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලූන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුන එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්.'

'මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. එකපාරට අපිට ඒ ගැන කියන්න බැහැ. එතුමන් ඉල්ලා අස්වෙන්නේ නැතුව, ගෝඨාභය ජනාධිපතිතුමන් එතුමාට ඉල්ලා අස්වෙන්න එපා කියලා කිව්වා නම් මොකක්ද අද තියෙන තත්වය. මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා ඒ පර්යේෂණයේ වාර්තා එනකන් ඉන්න වෙනවා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. නමුත් එතුමා ඉල්ලා අස් වුණා, ඒක හොඳ දෙයක්. මම විශ්වාස කරන්නේ මේ ප්‍රවණතාවය හොඳයි කියලා.'

(LNW)