Sunday, July 06, 2025
Follow Us
කෙලවරපිටිය බලාගාරය ‍හොර රහසේම ඇමරිකාවට විකුණලා - ජවිපෙන් ‍චෝදනාවක්

විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව අත්සන් තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. මෙවැනි විශාල සම්පතක් රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වියයුතු බව පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ එය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා සඳහන් කළේ ඇමරිකාවේ ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම බලාගාරය ඇමරිකාවේම සමාගමකට විකිණීමට තීන්දු කර ඇති බවයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා,

අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙනවා. අප විශාල බලශක්ති පරිභෝජනයක් ඇති රටක් නෙවෙයි. ජාතික ආරක්‍ෂාවේදී බලශක්ති ක්‍ෂේත්‍රය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා එය රජය සතුවීම අතිශය වැදගත් කරුණක්. බැසිල් රාජපක්‍ෂ නම් ඇමරිකානු ද්විත්ව පුරවැසියා, ගෝඨාභය රාජපක්‍ෂ ද්විත්ව පුවැසියා අපේ රටේ මේ වැගත්ම සම්පත ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එය තවත් මෙගාවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා. එම නිසා ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍යවන යටිතල පහසුකම් සඳහා අප ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළා ඛණිජ තෙල් සංස්ථාව භාර අමාත්‍යාංශය විසින්. පසුගිය පෙබරවාරි 18වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළකළා. මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවලා තිබුණා. එහි ඉල්ලුම්පත්‍ර ලබාගැනීමට රුපියල් ලක්‍ෂ 02ක තැන්පතුවක් ලබාගත්තා. ජූලි 18 වැනි දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට්‍රට් එනර්ජි නම් ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා.

මෙය කිසිසේත්ම පිරිසිදු ගනුදෙනුවක් නෙවෙයි. එම ඇමරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබුණා. නමුත් එයට ඉල්ලුම් නොකළ සමාගමකට ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්‍ෂ විසින් ලබාදී තිබෙනවා. බැසිල්ට තිබෙන්නේ කළු ඉතිහාසයක්. ඔහු මුදල් ඇමති වෙන විටම සමාජය තුළ මේ සාකච්ඡාව මතුවුණා. එම සමාගමටම වසර 05ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා. එසේම කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබාදී තිබෙනවා. ජනතාව ජීවන බරින් මිරිකී සිටිනවා. ඊට රට මත පැටවී ඇති දැවැන්ත ණය බරත් වගකිව යුතු වෙනවා. ණය අපරාධයක් නොවුණත් ලංකාව ලබාගත් ණයවලින් රට තුළ අවශ්‍ය වත්කම් ගොඩනැගුණේ නැහැ. එහි තේරුම වංචා-දූෂණ ලෙස විශාල පංගුවක් දේශපාලකයින් අතට පත්වූ නිසයි. සැබවින්ම ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට කෙරවලපිටිය පවා දෙන්නේ ඇයිද යන්න රටට පැහැදිලි කළ යුතුව තිබෙනවා.

කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා, ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එයි කිසිම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි. නමුත් මෙහිදී සිදුවුණේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2 පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුවයි.

මේ පාලකයන් බලයට ආවේ විකිණූ හම්බන්තොට වරාය ආපසු ගන්නා බව කියමිනුයි. ඔවුන් එවැනි පිරිසක් නොවන බව අපිනම් දැන සිටියා. හම්බන්තොට වරායට බදු සහන ලබාදෙන පනතට විරුද්ධව ඡන්දය දෙන්න රාජපක්‍ෂවරුන් සහ ඔවුන්ගේ හිතවතුන් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔවුන් ඡන්දයට පෙර ජනතාවට කී කිසිවක් කළේ නැහැ. ඔවුන් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස් තිබෙන අය. අද අපේ රටේ බලශක්ති ක්‍ෂේත්‍රයේ අයිතිය ඇත්තේ කාටද යන්න මත රටේ අනාගතය තීරණය වෙනවා. ගෝඨාභය, මහින්ද, බැසිල් චමල්, නාමල් පවුල් කැබිනෙට්ටුව විසින් බලශක්ති ක්‍ෂේත්‍රය ඇමරිකාවට පවරා තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ කොවිඞ් තත්වය තුළ ජනතාවට ඊට විරෝධය පළකළ නොහැකි වාතාවරණයක් තුළ මෙම ගනුදෙනුව සිදුවීමයි.

(LNW)