Sunday, July 06, 2025
Follow Us
දේශපාලන බලපෑම් එක්ක බෑ - පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාලුත් ඉල්ලා අස්වෙයි !

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට යොමුකළ බවයි ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් හමුවේ ස්වාධීනව සිය රාජකාරිය කරගෙන යෑමට නොහැකි නිසා මෙසේ ඉල්ලා අස්වන බව ඒ මහතා සඳහන් කර ඇත.

විශේෂයෙන් සුදුළූණු කන්ටේනර් දෙකක් හොරපාරෙන් විකිණීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවීමට යෑමේදී තමන්ට මෙසේ බලපෑම් එල්ල වූ බව පවසන ඒ මහතා සීනි, පාන්පිටි, උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ ගණනාවක් මෙසේ වංචනික ලෙස හොරපාරෙන් විකිණෙන බවත් මේවාට සම්බන්ධ නිසා වැඩ තහනමට ලක්වන නිලධාරීන්ව සිද්ධිය ජනතාවට අමතක වීමෙන් පසු යළි සේවයෙහි පිහිටුවෙන බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයක පමණ කාලයක් තුළ රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් ගණනාවක්ම ඉල්ලා අස්වන ආකාරය දක්නට ලැබීම විශෙෂත්වයකි.

(LNW)