Thursday, April 25, 2024
Follow Us
පොහොට්ටුවෙන් එස්.බී.ට උපන්දින තෑග්ගක් .... ?

ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය එස්.බී. දිසානායක මහතාට ලබාදීමට යෝජනා වී ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

2019 ආණ්ඩු පෙරළියේ මූලික සාධකයක් වශයෙන් 2018 වසරේදී රාජපක්ෂවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර දේශපාලන දීගයක් ඇතිකිරීමේ කපුකම සිදුකළ පුරෝගාමියෙකු වන එස්.බී. දිසානායක මහතා වත්මන් ආණ්ඩු පක්ෂයෙහි සිටින ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයෙකු වුවත් ඒ මහතාට කිසිදු අමාත්‍ය ධුරයක් හිමිවූයේ නැත. ඒ පිළිබඳව ඒ මහතා විවෘතවම මැසිවිලි නඟන ආකාරය ද පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.

ඒ මහතාගේ 70 වෙනි උපන්දිනය ද හෙටට (18) යෙදී තිබේ. ඒ අනුව ඒ මහතාට ඉක්මනින්ම මෙම රාජ්‍ය අමාත්‍ය තනතුර ලැබෙනු ඇති බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ. මේ පිළිබඳ ඒ මහතාගේ හිතවතුන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ ලැබෙන ඕනෑම තනතුරක් තමන් බාරගන්නා බවකි.

කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට මෙන්ම එස්.බී. දිසානායක මහතාට ද බන්ධනාගාර අමාත්‍ය ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් නොඅඩුව පවතී. ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී 2004 දෙසැම්බර් මාසයේ සිට 2006 පෙබරවාරි දක්වා ඒ මහතා ද බන්ධනාගාරගතව සිරදඬුවමක් ගෙවා ඇති නිසාය.

(LNW)