Sunday, July 06, 2025
Follow Us
කබ්රාල් දැරූ මුදල් රාජ්‍ය ඇමති ධුරය අනුර යාපාට ?

මහ බැංකුවේ අධිපති තනතුරට පත්වීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වනවිට මුදල් රාජ්‍ය ඇමති ධුරය පුරප්පාඩු වී තිබෙනවා.

පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට නියමිත අතර මුදල් රාජ්‍ය ඇමති ධුරය සඳහාද කැටගොඩ මහතා පත් කිරීමට නියමිත බව පසුගිය දිනවලදී වාර්තා විය.

කෙසේ නමුත් එම ඇමති ධුරය බාර ගැනීම කැටගොඩ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසා තිබෙන්නේ, 'රක්ෂණ සංස්ථාවේ සභාපතිකම බාරගන්න බැරි මං කොහෙමද මුදල් රාජ්‍ය ඇමතිකම බාරගන්නෙ' යනුවෙනි. මෙම යෝජනාව ඔහු වෙත ගෙන ආ පුද්ගලයන්ට ඔහු විහිළු කරන්න එපා යැයිද පවසා තිබෙනවා.

මේ අතර මෙම ඇමති ධුරය ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඛනිජ තෙල්, ආපදා කළමනාකරණ ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් දරා ඇති අනුර යාපා මහතාට මෙවර කිසිදු ඇමති ධුරයක් හිමි නොවීය.

මේ නිසා ඔහුට ‍පුරප්පාඩු වී ඇති ඇමති ධුරය ලබාදීම යෝග්‍ය බවටයි යෝජනා කර තිබෙන්නේ.

කෙසේ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඇතැම් විට අනුර යාපා මහතාට එම ඇමති ධුරය හිමිවීමට ඉඩ තිබේ.

(LNW)