Thursday, November 06, 2025
Follow Us
නව මහබැංකු අධිපති කබ්රාල් ට එරෙහිව රිට් පෙත්සමක්

නව මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාට එරෙහිව මැන්ඩාමස් රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

අද (14) දින මෙම රිට් පෙත්සම ගොනුකර තිබෙන්නේ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

පෙත්සම්කරු තම රිට් පෙත්සම හරහා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් භාණ්ඩාගාර බැඳුම්කර ආශ්‍රිතව සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත සිදුකළ වෝහාරික විගණනය හරහා 2005 - 2015 කාලය තුළ සිදුව ඇති බැඳුම්කර ගනුදෙනු වලදී රුපියල් බිලියන 10.4 - 10.6 ක පාඩුවක් රජයට අත්ව ඇති බවට හෙලිදරව් වූ බවත්, මෙම කාලවකවානුව තුළ අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරය හෙබවූ බවත් ය.

ඒ අනුව, කබ්රාල් මහතා ගේ ක්‍රියාවන් හි සාපරාදී වරද සැලකිල්ලට ගෙන, ඔහු නැවත මහබැංකු අධිපති තනතුරේ කටයුතු කිරීම අවහිර කිරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

නීතිපති, පොලිස්පති, මහබැංකු අධිපති, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍ය සහ මහබැංකු නියෝජ්‍ය අධිපති මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයන් ලෙස නම් කර ඇත.

(LNW)