Saturday, July 05, 2025
Follow Us
ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති රටටම විහිලුවක් වෙලා - චන්දිම වීරක්කොඩි

රට නැවත 70-77 සමයට ගමන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ආඩම්බර වන නමුත් එය කිසිසේත්ම ආඩම්බර විය හැකි තත්වයක් නොවන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. එදා රට පැවතියේ ණය නොමැති තත්වයක් තුළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ට්‍රිලියන ගණනින් ජාත්‍යන්තරයට ණය වී ඇති රටකට 70-77 ප්‍රතිපත්ති කිසිසේත්ම නොගැලපෙන බවයි.

ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ, ප්‍රතිපත්ති රටටම විහිලුවක් වී ඇති බවත්, සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන තරුණ තරුණියන්ට ඒවා හොඳ කටගැස්මක් වී ඇති බවත් වීරක්කොඩි මහතා පවසනවා. මෙවැනි ප්‍රතිපත්ති හේතුවෙන් අවසානයේදී ආණ්ඩුව පමණක් නොව රටම විහිලුවක් බවට පත්වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඇල්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

මහ බැංකුවේ අධිපති තනතුර සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහ බැංකුවද සෙසු රාජ්‍ය ආයතන මෙන් දේශපාලනීකරණයට ලක් නොවිය යුතු බවයි. මහ බැංකුව තීරණ ගත යුත්තේ රට දියුණු කිරීමට මිස දේශපාලනඥයන්ගේ මනදොල පිනවීමට නොවන බවද චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පළමුවරට මහ බැංකු අධිපති තනතුර සඳහා පත්වීමට පෙරද එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි බවද ඔහු පෙන්වා දෙනවා.

(LNW)