Saturday, July 05, 2025
Follow Us
මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන විපක්ෂ නායකයගෙ මොළය පරීක්ෂා කරන්න ඕන - AKD

වසංගතයක් රටපුරා පැතිර ගොස් ජනතාව බරපතල අපහසුතාවයකට පත්ව සිටින අවස්ථාවක මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂ නායකයාගේ මොළය පරීක්ෂා කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා මේ බව සඳහන් කළේය.

මෙතෙක් කල් බලයට පත් වූ පාර්ශ්ව දෙකම ඔවුන් විපක්ෂයේ සිටින විට පවතින පාලනයේ යම් අසාර්ථකත්වයන්වලදී මෝහනයට පත්වන බවත්, උද්දාමයට පත්වන බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ මේ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ කිසිසේත්ම ජනතාව පිළිබඳ හැඟීමකින් නොවන බවයි.

ආණ්ඩුවේ අසාර්ථකත්වය මත, ජනතාවගේ ජීවිත බිල්ලට දී බලය ලබා ගැනීම සඳහා මැතිවරණයක් ඉල්ලා සිටීම ඉතා අපරිණත හා අඥාන ප්‍රකාශයක් බවද ඔහු සඳහන් කරනවා.

විපක්ෂය සිදුකළ යුත්තේ මෙම ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා ගමන් කළ යුතු මාවත පාලකයන්ට පෙන්වා දීම, යෝජනා ඉදිරිපත් කිරීම බවද ජවිපෙ නායකයා පවසනවා. එම යෝජනා පිළිගන්නේද නැද්ද යන්න වෙනම ගැටලුවක් වන නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට නොගොස් පාලකයන් අසාර්ථක බැවින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා සිටීම කිසිසේත් නෙගැලපෙන බවද ඔහු අවධාරණය කරනවා.

පසුගිය වසරේ මහ මැතිවරණය කල්දැමීමට තීරණය කළේ ආසාදිතයන් සියයක්, මරණ කිහිපයක් වාර්තා වෙමින් තිබියදී බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ආසාදිතයන් දහස් ගණනක් හා මරණ සිය ගණනක් වාර්තා වෙද්දී මැතිවරණ ඉල්ලා සිටින පුද්ගලයන්ගේ මොළය පරීක්ෂා කළයුතු බවයි.

(LNW)