Saturday, July 05, 2025
Follow Us
මේ වෙලාවෙ බඩු හංගන වෙළෙන්දො හරියට එදා සුනාමි වෙලාවේ චේන් කඩපු හොරු වගේ - ඇමති රෝහිත

වැඩි මිලට විකිණීමේ අරමුණින් යුතුව මේ මොහොතේ යම් යම් භාණ්ඩ සඟවාගෙන සිටින වෙළෙන්දන් එදා සුනාමි ව්‍යසනය මොහොතේ කාන්තාවන්ගේ රන් මාල කඩාගත් පුද්ගලයින්ට සමාන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"අපි දැක්කා පහුගිය දිනවලදී මේ රටේ වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ඉතිහාසයේදී අපි දැක්කා එකක් තමයි ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදය වකවානුව තුළ මිනිස්සු ඉතාම අසරණභාවයකට පත්වුණා. විශේෂයෙන් උතුරු නැගෙනහිර. සමහරවිට උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි දකුණෙත් එහෙම වුණා. බෝම්බයක් පිපුරුණාම, කොළඹ වගේ තැන්වල බෝම්බයක් පිපිරුණාම මිනිස්සු බයවෙනවා. ඒවගේ අවස්ථාවන් වලදී රජයන් හැටියට වගකීමකින් වැඩ කළයුතු වෙනවා.

ඒ වගේම තමයි සුනාමි අවස්ථාව. සුනාමි ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාවෙත් රජයක් හැටියට කොහොමද මුහුණ දුන්නෙ කියන එක ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ. මේ වගේ අවස්ථාවක යම් විදියට තමන්ගෙ ව්‍යාපාරයෙන් අයුතු ලෙස ලාබ ලබන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක ඉතාම වැරදි සහගත දෙයක්. ඒක වැරදි සහගත දෙයක්. අපි දැක්කානෙ සුනාමියෙ. සුනාමි වෙලාවෙ අපි සමහර අවස්ථාවල අපට දකින්න ලැබුණා මාධ්‍ය වාර්තා කරනවා මේ මේ සුනාමියෙ ගහගෙන යන ළමයාගෙ චේන් එක කඩාගන්නවා. සුනාමියෙ ගහගෙන යන ළමයාගෙ මොනවා හරි දෙයක් තියෙනවා නම් උදුරාගන්න පුළුවන් ඒක උදුරාගන්නවා කියලා අපට අහන්න ලැබුණා. ඉතිං ඒ වගේ තමයි යම් විදියකට වෙළෙන්දො උත්සාහ කරනවා නම් මේ භාණ්ඩ තමන් සඟවාගෙන ඉඳලා වැඩි මිලට විකුණන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඉතාමත්ම වැරදි කාර්යයක් කියලා අපි පැහැදිලිවම කියන්න ඕනෙ"

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)