Saturday, July 05, 2025
Follow Us
මේ ආණ්ඩුව ජනතාවගෙද ජාවාරම්කාරයන්ගෙද ? ජනතාව වෙනුවෙන් පාරට බහින්න සූදානම් ! - ජවිපෙ

වසංගතයෙන් බැටකමින් සිටින ජනතාවට ආණ්ඩුවේ බර දැරීමටද සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බඩුමිල අඩු කරන ආකාරය, මුදල් සොයා ගන්නා ආකාරය, රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සුරංගනා කතා කියමින් බලයට පත් වූ ආණ්ඩුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පවා පාලනය කරගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ.

සීනි මාෆියාව පරාජය කරන බවට පම්පෝරි ගැසූ ආණ්ඩුව අවසානයේදී සීනි තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයන්ට මුදල් ලබා දී සීනි මිලදී ගන්නා බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් 85 ට ආනයනය කළ සීනි රුපියල් 130 කට ජනතාවට විකුණමින් සිටින බවත් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා,

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විධායක බලය, තුනෙන් දෙකේ බලය සහ 20 සම්මත කරලා ගත්තු බලය යොදවලා භාණ්ඩ මිල පාලනය කරන්න බැරිවෙලා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පොල්තෙල් ලීටරයක් රු. 480යි. දැන් 655 දක්වා වැඩිවෙලා. සීනි බදු සහන දීලා වංචා කළා වගේම පොල් තෙල්වලටත් වංචා කළා. ඒ අතර විෂ පොල්තෙල් ඇවිත් හිඟයක් ඇතිවෙලා මිල වැඩි කළා. විෂ පොල්තෙල්වලට සිදුවුණු දෙයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම ජනවාරි මාසයේ රු. 180ට තිබුණු පරිප්පු 260 දක්වා වැඩිවෙලා. ජනාධිපතිතුමා ජාතිය අමතලා රු. 65ට දෙනවා කිව්ව පරිප්පු මිල මේ තරම් වැඩිවෙලා. වියළි මිරිස්, හාල් මැස්සන් කරවල, අර්තාපල්, වගේ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වේගයෙන් වැඩිවෙලා. ඊට අමතරව ගෑස් හිඟයක් නිර්මාණය කර රු. 363කින් මිල වැඩි කරන්න අවසර දුන්නා. තෙල් මිලත් වැඩි කළා. හැබැයි ජනතාවගේ ආදායම් වැඩිවෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ මිලත් වැඩිවෙන්න ඉඩ ඇරලා. අගෝස්තු 19වැනිදා ගැසට් පත්‍රයක් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගහලා තිබුණු මිලටත් වඩා ඖෂධ මිල වැඩිවෙන්න අවස්ථාව ලබාදුන්නා. මේකෙන් සිදුකළේ උපරිම මිලක් නියම කර තියෙන මිලටත් වඩා වැඩි කර දීමයි.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සැප්තැම්බර් 09 වැනිදා නිකුත් කළ නිවේදනයකින් හදිසි නොවන භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා නම්කළ ලයිස්තුවක් තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කරන්න සම්පූර්ණ මුදලම බඳින්න ඕනෑ. මුලදී අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ ගෙනාවට පස්සේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාව කලින් තිබුණා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා මේ වගේ පැලැස්තර විසඳුම් යොදනවා. යට ඇඳුම් වැනි දේ ඇතුළත් කිරීමෙන් ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය අයට නම් ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව වගේ අනෙක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලා හිතනවා ඇති.

වැරදි අර්ථික ප්‍රතිපත්ති විසින් මුදල් අච්චු ගහමින් බඩුමිල වැඩිවීමට තවත් අනුබල දී තිබෙනවා. රට තුළ නිපදවන වැඩපිළිවෙළකුත් නැතිව පිටින් ගේන එකත් නැවැත්වුවාම භාණ්ඩ හිඟයක් ඇතිවී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් අඩුකර, ණය ගැනීම සීමා කර නිෂ්පාදනය වැඩි කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ. අතීසාරයට අමුඩ ගහනවා වගේ දවස ගෙවාගන්න මොනවා හරි කරනවා. මේ නිසා ප්‍රශ්නය තව තවත් වැඩිවී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ආණ්ඩුවක වගකීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට පොදු ජනතාවට ලබා දීමයි. නමුත් ආණ්ඩුව වටේ ඉන්න ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට සිනි බද්ද, පොල්තෙල් බද්ද, ඖෂධ උපරිම මිල නියම කිරීම ඇන්ටිජන් කිට් ගෙනත් ජාවාරම් කරන්න ඉඩ දීම වගේ ක්‍රියාමාර්ගවලින් අසීමිත ලාභ ලබන්න අවස්ථා ලබාදෙනවා. රටට ආදායම් මාර්ග ගේන ව්‍යාපාරිකයින් පවා ඉතාම අසීරු මට්ටමකට වැටී ණයවර ලිපි විවෘත කර ගැනීමට පවා නොහැකිව ඉන්නවා.

ඒ අතර අපි ජනතාවට අවධාරණය කරන්නේ දැන් තියෙන අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවයි. මැජික්වලින් විසඳන්න බැරි බවයි. අපේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඕනෑ. ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඒ සඳහා ජනතාවට විශ්වාස කරන්න පුළුවන් බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වටා එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

(LNW)