තමන් නැවතත් මහබැංකු අධිපති ධුරයට පත්වනු ඇති බවට පැතිර යන කතා ප්‍රතික්ෂේප කිරීමට තමන්ට නොහැකි අතර එය තහවුරු කිරීමටත් තමන්ට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
"සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත. ඒ පනතෙන් අපි අදහස් කරන්නෙ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල ඉතාමත්ම ඉහළ තැනකට නියාමනය අතින්, කටයුතු අතින්, තාක්ෂණය අතින්, ගනුදෙනු අතින් ඔසවා තබන්න. මේ රටට ඇවිල්ලා කටයුතු කරද්දී තමන්ගෙ ආයෝජන ඉතාමත්ම ආරක්ෂිතයි කියලා හැඟීමක් පැන නඟින්නට අවශ්‍යයයි. ඒ සඳහා හොඳ නීතිරීති තියෙන්න ඕනෙ, ඒ නීතිරීති හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒ නීතිරීති ක්‍රියාත්මක වෙනකොට යම්කිසි පුද්ගලයෙකුට අසාධාරණයක් වෙලා නම් ඔහුට ඒ පිළිබඳව නීතිය අනුව කටයුතු කරන්න හැකිවෙන්න ඕනෙ. නියාමනය කරන අයට ඒක හොඳින් කරන්න ශක්තිය සහ නීතිමය පසුබිම තියෙන්නට ඕනෙ. මේ සියල්ල ගැන හිතලා තමයි බොහෝ කාලයක් තිස්සේ අපට ක්‍රියාත්මක කරගන්නට බැරිවෙච්ච දෙයක් අද අපට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ පනත තුළින් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට ආයෝජන ගලාගෙන එන්නට ක්‍රමවේද රාශියක් මතුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඒත් එක්කම අපි මුදල් පනතක් සම්මත කරගත්තා. 1%ක බද්දක් ගෙවලා ඒ මුදල් සාමාන්‍ය කටයුතු සිදුවෙන අපේ ආර්ථිකයට යොමුකර ගැනීමට අවස්ථාවක් අවස්ථාවක් මේ අලුත් පනත තුළින් සියලු දෙනාටම ලබාදීලා තියෙනවා. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ මුදල් කළු සල්ලි හෝ නීතිවිරෝධී සල්ලි කියලා. ඒ මුදල් බදු නොගෙවපු මුදල්. ඉතිං බදු ගෙවලා ඒ මුදල් සාමාන්‍ය ආර්ථික කටයුතුවලට භාවිතා කිරීමට හැකිවන ලෙස අපි මේ නීතිරීති සකස් කරලා තියෙනවා. මේ තුළින් අපි හිතනවා රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට ගලාගෙන එයි කියලා. ඒ තුළින් අපෙ ආර්ථිකමය කටයුතුවලට සෑහෙන ලොකු ශක්තියකුත් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා"
ප්‍රශ්නය - ඔබතුමා මේ විශ්‍රාම වැටුප වැඩිකරගන්න යනවායි කියලා කතාවක් තියෙනවා ?
"මම මුලින්ම කියන්න ඕනෙ මම විශ්‍රාම වැටුප විදියට සතයක්වත් අරන් නැහැ. මේ රජයෙන්වත් මොන රජයකින්වත් අරන් නැහැ. තීරුබදු රහිත වාහනයක්වත් අරන් නැහැ. මහබැංකු අධිපතිවරයා හැටියට අවුරුදු අටහමාරක් විතර සේවය කෙරුවා, ඒවා අරගෙන නැහැ. ඒ වුණාට විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. එය මගේ පත්වීමේ ලිපියේ ඉතාමත්ම පැහැදිලිව ලියලා තියෙනවා. ඒ වුණත් මට ඒක ගෙවලා නැහැ. ඒක ගෙවන් නැතුව ඉන්නත් ඒ අයට හේතු තියෙනවාද මං දන්නෑ. ඉතිං ඒක මට නොගෙව්වාය කියලා මට ඒකෙන් ලොකු පාඩුවක් සිදුවෙලා නැහැ"
ප්‍රශ්නය - ඔබතුමා මහබැංකුව පැත්තට ආපහු යන කතාවක් සමාජ මාධ්‍යවල තියෙනවා. එහෙම දෙයක් ඇත්තටම වෙයිද ඉදිරියේදී ?
"ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ, ඒ කතාව තහවුරු කරන්නටත් බැහැ"
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)