Saturday, July 05, 2025
Follow Us
වැලිකඩ සිටින බිරිදට බදියුදීන් ගත් දුරකතන ඇමතුමක් ගැන හෙළිවෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉකුත් 6 වනදා පාර්ලිමේන්තුවේ රැඳී සිටි කාලයේදී වැලිකඩ කාන්තා බන්ධනාගාරයට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වනවා.

ස්ථාවර දුරකතනයකින් පෙරවරු 11 යි 55 ට පමණ එම ඇමතුම ලබා ගෙන ඇති බවයි වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සටහන් වී ඇත්තේ.

ඇමතුම ලබාදෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින සිය බිරිඳ සමඟ තමන්ට කතා කිරීමට අවශ්‍ය බැවින් දුරකතන මාර්ගය ඔස්සේ සිය බිරිඳ සම්බන්ධ කර දෙන ලෙසටයි.

කෙසේවෙතත් එම ඇමතුමට පිළිතුරු දුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිලධාරීණිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, එය බන්ධනාගාර නීතියට පටහැනි ක්‍රියාවක් හේතුවෙන්.

මන්ත්‍රීවරයා විසින් ඇමතුම ලබාගත් දුරකතන අංකය පාර්ලිමේන්තුවට අයත් එකක් බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිර්යුදීන් රඳවා සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේයි.

මන්ත්‍රීවරයා එම බන්ධනාගාරයේ රඳවා සිටින වාට්ටුවේ සිට භාවිත කළ ජංගම දුරකතනයක් ද ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

එම දුරකතනය මන්ත්‍රීවරයාට ලබා දුන් බවට සැක කෙරෙන එම බන්ධනාගාර ජේලර්වරයා පරීක්ෂණයකට යටත්ව වවුනියාව බන්ධනාගාරය වෙත වහාම ස්ථාන මාරු කිරීමටයි බන්ධනාගාර මූලස්ථානය පියවර ගත්තේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ද රිෂාඩ් බදිර්යුදීන් මන්ත්‍රීවරයා මීට පෙර චෝදනාවට ලක් වුණා.

ඊට එරෙහිව ද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

(Neth)