Saturday, July 05, 2025
Follow Us
ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව රැස්වෙයි

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව රැස්වෙයි


"මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව" සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(07) රැස්විය.

ප්‍රථමයෙන් ම එක්සත් ජාතික පක්ෂය කාරක සභාව හමුවේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා තවදුරටත් පැහැදිලි කළේය. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු අමාත්‍ය සාගල රත්නායක හා රොනල්ඩ් පෙරේරා යන මහත්තුරු අදහස් ඉදිරිපත් කළහ.

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාවේ යෝජනා පිළිබඳ, එම කමිටු සාමාජිකයන් 2021.09.07 දින තවත් ඉදිරිපත් කිරීමක් කළේය. ඒ සඳහා එම කමිටුවේ සාමාජිකයන් වන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක( එම කමිටු සභාපති) කාරක සභාව හමුවට පැමිණ සිටියහ. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය, පසුගිය පළාත් පාලන ඡන්දයේදී ක්‍රියාත්මක වීමේදී ප්‍රයෝගිකව සිදුවූ අඩුපාඩු වළක්වා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද කිහිපයක් පිළිබඳව මහාචාර්ය සුදන්ත ලියනගේ මෙහිදී කරුණු පැහැදිලි කළේය.

යළිත් මෙම විශේෂ කාරක සභාව 2021.09.13 හා 14 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව, විශේෂ කාරක සභාවේ ලේකම් ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. එම දින දෙක තුළ ජාතික ජන බලවේගය,ඉලංගෙයි අරසු කච්චි, දමිළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගය, අපේ ජන බල පක්ෂය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, සමාජවාදී ජනතා පෙරමුණ මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

(news.lk)