Saturday, July 05, 2025
Follow Us
සීනි තොග රාජසන්තක කර සතොසට ලබාදුන් ජනපතිට ස්තූතියි - දයාසිරි වෙනම කතාවක් කියයි

සීනි ආනයනකරුවන් විසින් ගෙන්වා ගබඩා කර තිබුණු සියලුම සීනි තොග රාජසන්තක කර සතොස සහ සමූපකාර වෙත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත් එම තීරණය ඉතාම නිවැරදි බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ, සීනිවල තිබ්බ බද්ද ශත 25 දක්වා ආණ්ඩුව අයින් කළේ ආණ්ඩුව යම් පාඩුවක් දරාගෙන ඒ ජනතාවට අවශ්‍ය කරන සහනය දෙන්න. නමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ විශාල සීනි තොග පිටින් ගෙනල්ලා, මේවා ගබඩාවල ගබඩා කරන් ඉඳලා අවසානයේ විශාල අර්බුදයකට මේ රටම පත්වුණ එක.

එනිසා මං හිතන්නෙ ඉතාම නිවැරදි තීන්දුවක් අරගෙන තියෙනවා ජනාධිපතිතුමා. ඒ සියලුම සීනි රාජසන්තක කරලා ඒ රාජසන්තක කරපු සීනි සතොස සහ සමූපකාර වලට ලබාදෙන්න. මං හිතන්නෙ ඒක දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අනුව ලංකාවෙ කවදාවත් තිබුණෙ නැති, 220ට 230ට ගිය සීනි නැවත අඩුකරලා 120 ගණන්වලට දෙන්න පුළුවන් තත්වයක් දැන් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නෙ ඒක ගත්ත හොඳ පියවරක් විදියට මම දකිනවා. මේක තමයි කළුකඩ ව්‍යාපාර විදියට කරගෙන ගිය ජාවාරම්කාරයින්ගෙ ව්‍යාපාරයක් විදියට අපි ඒක දකින්නෙ. එනිසා ඒක නිවැරදිව සකස් කිරීම ගැන අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව නඩු පැවරීම කරනවා. මොකද හේතුව ඒ ගබඩාකිරීම් වල තිබිච්ච ප්‍රශ්න, ඒ සීනි ගෙන්වලා තියාගැනීම්, ඔවුන් ගෙනාවෙ ඒ සීනි ඉතාම අඩු මිලකට, දැන් අදවෙනකොට ඉතාම දැවැන්ත මුදලකට ඒක විකුණනවා, මේක තමයි ඔවුන්ගෙ තිබුණ ඒ ජාවාරම්කාර ව්‍යාපාරය. මං හිතන්නෙ ඒක නැති කරන්න ගත්ත වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි. මොකද ලෝකයේ ඇත්තටම මේ පාලන මිලෙන් පමණක් මේ රටක් හදන්න බඩුමිල අඩු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. නමුත් ඇත්ත වශයෙන් ඉල්ලුමට සැපයුමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙන ආර්ථිකයක් තුළ ජාවාරම්කාරයින් බිහිවීම තමයි තිබුණ ප්‍රධාන ප්‍රශ්නය විදියට මම දකින්නෙ"

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙම සීනි තොග රාජසන්තක කිරීමක් කර නොමැති අතර ව්‍යාපාරිකයින්ට මුදල් ගෙවා එම තොග රජයට ලබාගන්නා බවකි.

(LNW)