ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ පැවති ඖෂධ පිළිබඳ සංවේදී දත්ත විශාල ප්‍රමාණයක් මැකී යාම නිසා කොවිඩ් මර්දන කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව සහ මෙයින් විශේෂිත මහජන පීඩාවක් සිදුවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව එම අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් තමන් වෙත තහවුරු කළේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි.
"සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකීයාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නෙ බැකප් එකක් කියලා, බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩුපාඩු සිද්ධවෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක්වෙනවා.
සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරීන් අපට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්දන ක්‍රියාන්විතය හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වෙන්නෙ, ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකී යාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්නට කිසිසේත්ම ඉඩක් නැහැ කියලා. නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා, මීට පෙර අතීත වාර්තා ගණනාවක් ඒවා නැවත රිකවර් කරගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමගත් කටයුතු කරන බව සඳහන් කළා. ඊට අමතරව මේ සිදුවීම පිළිබඳව නෛතික විමර්ශනයක් සිද්ධ වෙමින් තියෙනවා" යනුවෙනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ පැවති ඖෂධ පිළිබඳ සංවේදී දත්ත විශාල ප්‍රමාණයක් මැකී යාම පිළිබඳ සොයාබැලීම සඳහා වසන්ත යාපා බණ්ඩාර, ජගත් කුමාර, ජයන්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් එහි ගිය අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)