Wednesday, July 02, 2025
Follow Us
කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සහතික කර තිබේ. පාර්ල‍ිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කිසා සිටී.

පසුගිය අගෝස්තු 17 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.

තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.

මේ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වේ.

(LNW)