Thursday, July 03, 2025
Follow Us
මංගලගේ අභාවය ගැන දෙස් විදෙස් නායකයින් රැසක් සොව පළ කරයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙස් විදෙස් නායකයින් රැසක් සොව පළ කර තිබෙනවා.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමී දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩයක දැක්වෙන්නේ.

සංහිඳියාව පිළිබඳ විශ්වාසය තැබූ මංගල සමරවීර මහතා නිර්මාණශීලී මිනිසෙකු මෙන්ම අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය දේශපාලඥයෙකු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද, මියයන තුරුම මංගල සමරවීර මහතා සිය පෞද්ගලික මිතුරෙකු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. 2005 ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම නොමියෙන මතකයක් බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නොමැකෙන ලකුණක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට නිවන් සුව අත්වේවායැයි ප්‍රාර්ථනය කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි මංගල සමරවීර මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ඨ දේශපාලනඥයෙකු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මංගල සමරවීර මහතා සිය මිතුරෙකු, සොහොයුරෙකු මෙන්ම සටන් සගයෙකු බවත්, ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සහ අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් නොබියව පෙනී සිටි නායකයෙකු බවත්, හිටපු ජනාධිපතිනිය නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්.

මංගල සමරවීර මහතාගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද ඉමහත් පාඩුවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ සියලුදෙනාගේම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ඨ ගණයේ දේශපාලඥයෙකු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති එලෙයිනා බී ටෙප්ලිස්, යුරෝපා සංගමය, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු අමෙරිකානු සහකාර ලේකම් නීෂා බිස්වාල් ඇතුළු පිරිසක් ද මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කර තිබෙනවා.

(Neth)