Thursday, July 03, 2025
Follow Us
ආණ්ඩුවේ උද්දච්ඡ වැඩ නිසා පටි තද කරගන්න නෙවෙයි, පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ - හර්ෂ

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පිට අය කියන කිසිවක් නොඅසමින් උද්ද්ච්ඡ ලෙස හැසිරෙන ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තවතවත් වළටම ඇදදමනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"ඩොලර් බිලියන 2.8යි අතේ තියෙන්නෙ. අද අධිපතිවරයා ඒක මාධ්‍යයේදීම පිළිගත්තා. ඒ ඩොලර් බිලියන 2.8න් අපේ රත්තරන් තියෙනවා ඩොලර් මිලියන 400ක් විතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ඒවා තියෙනවා, ඒෂියන් යූනියන් ක්‍රෙඩිට් එකේ එව්වා තියෙනවා, ඒ ඔක්කොම අස් කළාම පාවිච්චි කළහැකි සංචිත තියෙන්නෙ ඩොලර් බිලියන 2.3ක් විතර ප්‍රමාණයක්. ඊට පස්සෙ සියලු බැංකුවල සහ පුද්ගලික අංශයේ සංචිත සියල්ලම එකතු කළොත් තව ඩොලර් බිලියන 2ක් තියෙයි වැඩිම වුණොත්. ඒ කියන්නෙ ඩොලර් බිලියන 4ක් 4.2ක් වාගෙ තියෙයි ඔක්කොම.

එන මාස දොළහට ගෙවන්න තියන ණය රජයයි පුද්ගලික අංශයයි ඔක්කොම එකතු කළාම ඩොලර් බිලියන 7ක් විතර ගෙවන්න තියෙනවා. ඉතිං ආණ්ඩුවයි පුද්ගලික අංශයයි ඔක්කෝම එකතු කරලා අතේ තියෙන්නෙ 4ක් විතර. ඊටපස්සෙ මහබැංකු අධිපතිතුමාම අද කිව්වා ඒගොල්ලො බලාපොරොත්තු වෙනවා කියලා මේ මාසෙ බංගලිදේශයෙන් සල්ලි ටික. හැබැයි බංගලිදේශයෙන් කියලා තියෙනවා ඔව්, අපි ඩොලර් මිලියන 250ක් දෙන්නම් කියලා තියෙනවා, හැබැයි 50ක් දෙන්නම් පළවෙනි කොටස හැටියට කියලා. මොන ලැජ්ජාවක්ද ? ඒගොල්ලො ලොකුවට පත්තරේ දාගෙන බංගලිදේශය පළවෙනි වතාවට විදේශීය ණය දෙන රටක් බවට දැන් පත්වෙලාය, ලංකාවට ඩොලර් මිලියන 250ක් දෙනවාය කියලා ඔන්න ඩොලර් මිලියන 50ක් දෙනවා ඒකෙන් සුළු ගාණක්.

ඊළඟට චීනෙන් දෙනවා කියලා එම්බසියෙන් කියලා තිබ්බා හෙට අනිද්දා වෙනකොට හම්බවෙයි ඩොලර් මිලියන 300ක්. මහලොකු ගාණක් නෙවෙයි. දැන් මේ චීනෙන් ඇවිල්ලා අපිව බේරාගන්න සයිස් එකක් තියෙනවා නම් ඩොලර් මිලියන 300න් කොහොමද අපිව බේරගන්නෙ, බංගලියොත් දෙනවානෙ අපට ඩොලර් මිලියන 250ක් ? ඊටපස්සෙ IMF එකෙන් ලැබෙනවායි කියනවා ඩොලර් මිලියන 780ක්. ඒක මේ ප්‍රෝග්‍රෑම් එකක් හැටියට නෙවෙයි ලෝකෙ හැම රටටම හම්බුවෙනවා අර බයිඩ්න් ඒකට අත්සන් කරපු නිසා හැමෝටම තමන්ගෙ ෂෙයාර් එකට අනුව හම්බුවෙනවා. අපේ ෂෙයාර් එක ඩොලර් මිලියන 780ක් තියෙනවා. එච්චරයි තියෙන්නෙ.

නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා කියනවා මේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරලා මේ ඉතුරු මාස කිහිපයේ ඩොලර් මිලියන 400ත් ඩොලර් බිලියනයත් අතර ප්‍රමාණයක් හොයාගන්නවා කියලා. එයා CNBC ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කියනවා ඒක. එතකොට මං දන්නෑ මොනවද කියලා විකුණන්න උත්සාහ කරන්නෙ. විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල විකුණනවයි කියනවා, එයාර්ෆෝස් මූලස්ථානය විකුණනවයි කියනවා, වෝටර්ස් එජ් එක විකුණනවයි කියනවා, එයිටි ක්ලබ් එක විකුණනවායි කියනවා, හයට් එක විකුණනවයි කියනවා, නොයෙකුත් දේවල් විකුණනවායි කියනවා. හැබැයි කොච්චර කිව්වත් තාම කවුරුවත් ඇවිල්ලාත් නෑ මේ ටික ගන්න. හරි ? එතකොට දැන් මේගොල්ලොන්ට තේරිලා තියෙනවා මේ සල්ලි අච්චු ගහලාත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ කියලා තවදුරටත්.

එහෙනම් මොකක්ද තියෙන විකල්පය ? විකල්පයක් තියෙනවා කියලා කියනවානෙ දිගින් දිගටම ? මොකද්ද විකල්පය ? විකල්පයක් නෑ !

මම තවත් අනාවැකියක් කියන්නම්. අනුන්ට ඇහුම්කන් නොදෙන මේ උද්ධච්ඡ ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තව තවත් වළට ඇදල දානවා"

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)