Thursday, July 03, 2025
Follow Us
ජාත්‍යන්තර කුමන්ත්‍රණ චෝදනාව විමල්ලාටම කැරකෙයි - පොහොට්ටු මූලස්ථානයෙන්ම දැඩි දෝෂාරෝපණයක් !

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු වත්මන් ආණ්ඩුවේ සන්ධානගත කුඩා පක්ෂ චේතනාන්විතවම ජනාධිපතිවරයාව සහ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන්නේ ඔවුන් ජාත්‍යන්තර බළල් අතක කුමන්ත්‍රණයකට හසුවීම නිසාදැයි සැකයක් මතුවන බවට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

රට වසා නොදැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුවට කැබිනට් මණ්ඩලයේදී එකඟ වී, පිටතට පැමිණ රට වසා දමන්නැයි ලිපියක් අත්සන් කර එය මාධ්‍ය වෙත නිකුත් කිරීමට පසුගියදා ආණ්ඩුවේ කුඩා පක්ෂ කටයුතු කර තිබුණු අතර එම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

"අපෙත් සහෝදර දේශපාලන පක්ෂ අපෙ කැබිනට් මණ්ඩලයෙදි ජනාධිපතිතුමාත් එක්ක එකඟවෙලා යනවා, එළියට ගිහිල්ලා කොළ අත්සන් කරනවා රට වහන්න කියලා. හැබැයි ඒක ඒගොල්ලන්ට සියලු දෙනාටම කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමාට කියන්න තිබුණා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙදි කියන්නෙ නෑ. එළියට ගිහිල්ලා අත්සන් කරලා මේක දුන්නාම රට තුළ අර්බුදයක් පේනවා. පක්ෂ තුළ අර්බුදයක් ඇති කරනවා. අපි ඒක ගැන කණගාටුවෙනවා ඒගොල්ලො ඒ කරපු වැඩේ ගැන.

මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදි කියන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලිකවම හම්බුවෙලා කියන්න පුළුවන්. ඒක කියන්නෙ නැතුව මාධ්‍යයට කතා කරලා කියනවායි කියන්නෙ පොඩි ජාත්‍යන්තර බළල් අතකට අහුවෙලා වගේ අපට පේන්නෙ. ඉතිං ඒක හින්දා අපි ඒක ගැන කණගාටු වෙනවා. සමහර වෙලාවට සමහරු හිතනවා ඇති මේ කාබුල්වල ඇමරිකන් ආණ්ඩුව ගියාම තලේබාන් එක බාරගත්තා වගේ මේගොල්ලොන්ටත් එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඉතිං ජාත්‍යන්තරය බොහොම වේගයෙන් අපේ ඈයින්ව බිලිබාගෙන තියෙනවා වගේ පේනවා. ඒවා පිළිබඳ ජනතාව දැනුවත් කරලා රජය මේ කටයුතු ව්‍යාපාරය සාර්ථක කරගන්න අපි සෞඛ්‍ය නිලධාරීන් දෙන උපදෙස් අනුව මේ රෝගය අවසන් කරන්න මූලික කටයුතු කරන්න කියලා තමයි අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ"

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මින් පෙර හැමදාමත් හැම අතටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ චෝදනා එල්ල කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ විසින්ම වීමය.

(LNW)