Thursday, July 03, 2025
Follow Us
බදුර්දින්ගේ තර්ජනය ගැන 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට සිදුකළ බව කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් මේ වනවිට 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස ප්‍රකාශ සටහන් කරගත් පිරිස අතර මන්ත්‍රීවරයා, වෛද්‍යවරයා, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ රැඳවියන් කිහිප දෙනෙකු ද වන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.

මැගසින් බන්ධනාගාරයේ බෙහෙත් ශාලාවට බෙහෙත් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය වී තිබෙනවා. එම අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී ඇති බවයි වාර්තා වුණේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්නා තිබුණා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ. එම පරීක්ෂණයෙන් මන්ත්‍රීවරයා වැරදීකරුවෙකු ලෙස අනාවරණය වුවහොත් මහේස්ත්‍රාත්වරයකුගෙන් සමන්විත බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවේ ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති.

මේ අතර මන්ත්‍රීවරයා වෛද්‍යවරයා වෙත සිදුකළා යැයි කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ද ලිඛිත දැනුම් දී තිබුණා.

මේ අතර අදාල වෛද්‍යවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර ඊට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

(Neth)