Thursday, July 03, 2025
Follow Us
කොරෝනාවෙන් මිය යන අයට පෙට්ටිය නොමිලේ

පිං බලාපොරොත්තුවෙන් කළුතර නගර සභා මන්ත්‍රීවරුන් අලුත් වැඩක් පටන් ගනී


කොරෝනාවෙන් මිය යන කලුතර නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන් සඳහා මෘත දේහ බහාලුම් පෙට්ටියක් නොමිලේ ලබා දිය යුතු බවට කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර් (එජාප) ගෙන ආ යෝජනාවක් පෙරේදා (18 වැනිදා) පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේ දී සම්මත විය.

මේ අතර නගරයේ කඩ සාප්පු තුනක හිමිකරුවකු කොරෝනා රෝගයෙන් මිය ගිය විට නොමිලේ අවසන් කටයුතු සිදු කර දෙන ලෙසට ඔහුගේ පුතා ඉල්ලීම් කළ බවත් ඒ අනුව මෙම සහාය ලබා දීම සඳහා අඩු ආදායම්ලාභියකුට ග්‍රාම නිලධාරීවරයාගෙන් සහතිකය අවශ්‍ය වන බවත් සභාපතිවරයා කීය.

ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු ඡන්ද නොව පිං බලාපොරොත්තුවෙන් මීට දායක වන ලෙසද ඉල්ලා සිටියේය. රුපියල් 6500ක මිලකට මග්ගොන ප්‍රදේශයෙන්ද, උසින් අඩු පෙට්ටි රුපියල් 4000කට පානදුර ප්‍රදේශයෙන්ද ලබා ගත හැකි බව සභාපතිවරයා ප්‍රකාශ කළ විට නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා (එජාප) කියා සිටියේ කලුතරින් 6500 ලබා ගත හැකි බවයි.
උප සභාපති නීතිඥ ඩනිල් පෙරේරා, නගරසභා මන්ත්‍රීවරුන් වන සුකුමාල් පෙරේරා, පාලිත සිල්වා, ධනුක හෙට්ටිආරච්චි, ප්‍රදීප් කරුණාමුනි, සන්ධ්‍යා එම්. වීරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙහි දී අදහස් දැක්විණි.

(Aruna)