Thursday, July 03, 2025
Follow Us
කුට්ටම කොච්චර ඇනුවත් කපෝති ගහන්න බැහැ. දැන්වත් ඔය බූරුවා ගැහිල්ල නවත්වන්න - විජිත හේරත්

දැන් හෝ මෝඩ උද්දච්චකම පැත්තකින් තබා රට පත්වහ තිබෙන ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීමට රටේ ජාතික ව්‍යසනකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.

ඒ, අද (17) කොවිඩ් 19 තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත පිළිබදව පාර්ලිමේන්තු විවාදයේදීය.

''දැන්වත් ඔය මෝඩ උද්දච්චකම පැත්තකින් තියල, අපි තමයි හොඳටම කළේ කියන පරණ කයිවාරුව පැත්තකට තියල දැන් මේ රට පත්වෙලා තිබෙන මහා ව්‍යසනකාරී තත්ත්වය හරියට බැරෑරුම්ව තේරුම් ගෙන වහාම ක්‍රියාමර්ග තෝරන්න. අපි ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා අද මේ මුළු රටම මළ ගෙයක් බවට පත්වෙලා තියෙන මේ මොහොතේ විශාලාවක් බවට පත්වෙලා තියෙන මේ මොහොතේ රටේ ජාතික ව්‍යසනකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න. ඒවගේම මුළු රටම ජාතික න්‍යාය පත්‍රයකට වැඩකරන තැනට ගේන්න. ඇමති මණ්ඩලය මාරු කළා. ගුරුවරුන්ට කාලකන්ණි කියපු රඹුක්වැල්ල ඇමතිතුමාට දුන්නා ප්‍රමෝෂන් එකක්. සෞඛ්‍ය තත්ත්වයේ ඇත්ත තත්ත්වය වාර්තාව ඉදිරිපත්කරන්න ගිය පවිත්‍රා ඇමතිතුමියව ඇමැතිධුරයෙන් ඉවත්කළා. ඒ විතරක් නෙවෙයි නාමල් රාජපක්ෂ ඇමතිතුමාට තවත් ඇමතිකමක් දුන්නා. ඕක තමයි මුඛ්‍ය අරමුණ. ඒ වෙනුවෙන් තමයි කුට්ටම ඇනුවේ. ඒත් කපෝති ගහන්න බැහැ. තාමත් ගහන්නේ බූරුවා. ඒ නිසා බූරුවා ගැහිල්ල නවත්තල දැන් මේ රට පත්වෙලා තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා වෙච්ච ජාතික ව්‍යසනකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලා ජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන ලදී.

(LNW)