Thursday, July 03, 2025
Follow Us
රටම තියෙන්නේ මහා ව්‍යසනයක එකට එකතු නොවී රට බේරා ගන්න බෑ - විපක්ෂ නායක

වෛද්‍ය විශේෂඥයින්ගේ මතය ඉවත දමමින් හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විඳිමින් සිටින බවත්, එළඹෙන වර්ෂයේත් ලංකාව ඉදිරියේ තිබෙන බිහිසුණු තත්ත්වය අවබෝධ කොටගෙන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු පාලකයින් මේ මොහොතේ හිතක් පපුවක් නොමැති අයුරින් කටයුතු කරමින් සිටින බවයි.

එදා සිට තමන් කියන දෑ පිළිබඳව අපහාසයෙන් උපහාසයෙන් සිනාසුනු ආණ්ඩුවට තමන් අද කියා සිටින්නේ ඒ අපහාස උපහාසම අද මරණයේ වේශයෙන් රටට ඇතුළු වී ඇති බවද විපක්ෂ නායකයා පවසනවා.

විදේශීය තානාපති කාර්යාල හරහා ලබා ගත යුතු සහයෝගය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ලබා ගැනීමට වහාම ආණ්ඩු උනන්දු විය යුතු බවත්, වසර එකහමාරක් තිස්සේ අක්‍රීය වී ඇති ආපදාකළමනාකරණ යාන්ත්‍රණය නැවත වතාවක් සක්‍රීය කොට ව්‍යසනකාරී මොහොතේ එහි ප්‍රයෝජනය ලබා ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මේ දැඩි ව්‍යසනකාරී මොහොතේ සියලු පීඩනයන් දරා ගනිමින් කටයුතු කරන සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රයන්ද විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවත් ඔවුන්ගේ කැප කිරීමට නිසි ඇගයීමක් සම වටිනාකමක් එක් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

(LNW)