Friday, July 04, 2025
Follow Us
ආණ්ඩුවේ වසරක පසුබෑමේ වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපති ලේකම් පී.බී.ගේ කරපිට තියන ලකුණු

තුනෙන් දෙකක බලයක් ද සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ආණ්ඩුවක් පිහිටුවා වසරක් ගතවී තිබේ. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගත් කල මේ වසර ගෙවුණේ සැලකියයුතු ජයග්‍රහණයන් මධ්‍යයේ නොවේ.

මේ වනවිට ජනතාව නොයෙකුත් ආකාරයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර සියල්ල සිදුවුණේ කොවිඩ් වසංගතය නිසාය යන තර්කය පවා එතරම් වලංගු නොවන තත්වයක් උදගත වෙමින් පවතී. ඒ අනුව වසරක අසාර්ථක භාවය කාගේ හෝ කරේ පටවා අත් සෝදාගැනීමට ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයකටම අවශ්‍ය වී ඇති අතර ඔවුන් මේ වනවිට ඒ සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාව ඉලක්ක කරගනිමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෑතකදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පී.බී. ජයසුන්දර මහතාට ඉතාම දැඩි දෝෂාරෝපණයක් සෘජුවම එල්ල කර ඇති බව වාර්තා විය. සියල්ලට වගකිව යුත්තේ පී.බී. බව එහිදී චමල් රාජපක්ෂ මහතා පී.බී. ගේ මුහුණටම කියා ඇති බව සඳහන්.

මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන චන්දිම වීරක්කොඩි මහතා ද පසුගිය දිනක එළිපිටම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී.බී. වැනි මහළු, මොළය බාගෙට වැඩකරන නිලධාරීන් සමග වැඩකළ නොහැකි බවක් කියා තිබිණි. එසේම පොහොට්ටු පක්ෂය බිහිකිරීම සඳහා ඉහළම දායකත්වයක් ලබාදුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද මෑතකදී පවසා තිබුණේ පී.බී. ජයසුන්දරව අනිවාර්යයෙන්ම තනතුරෙන් ඉවත් කළ යුතු බවකි.

මීට අමතරව තවත් පාර්ශ්ව කිහිපයක් ද නුදුරේදීම පී.බී. ට එරෙහිව අවි අමෝරා ගනිමින් මාධ්‍ය ඔස්සේ සටන ඇරඹීමට සූදානම්ව සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් චමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම තමන්ට කළ දෝෂාරෝපණයෙන් පසුව පී.බී. ජයසුන්දර මහතා තමන් සමග සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පවසා තිබුණේ "ඕක පරණ ස්ක්‍රිප්ට් එකක කොටසක්. එච්චර ගණන් ගන්න ඕනෙ නෑ" යනුවෙනි.

අනෙක් අතට අතිශය තීරණාත්මක තනතුරක් වන ජනාධිපති ලේකම් තනතුරට පී.බී. ජයසුන්දර මහතාව මීට වසරකුත් මාස නවයකට පෙර පත්කර ගන්නා මොහොතේදී පොහොට්ටුවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධ වූයේ නැති බව ද සිහිපත් කළ යුතුය. වෙනෙකක් තබා පී.බී. ට "ආර්ථික ඝාතකයා" යන අන්වර්ථ නායක පටබැන්ද විමල් වීරවංශ මහතා පවා ඒ මොහොතේ පැවසුවේ මෙම තනතුරට නියම සුදුස්සා පී.බී. බවත් ඔහු තනතුර බාරගැනීමට අදිමදි කරද්දී තමන් ද දුරකථනයෙන් අමතා ඔහුව දිරිමත් කළ බවත්ය.

ඒ අනුව වසරකුත් මාස නවයකට පෙර කාටත් හොඳටම රහ වූ පී.බී. මේ තරම් ඉක්මනින් වහ වන්නේ නම් ඊළඟට ඔය පසුබෑමේ වගකීම පැටවෙන්නේ කවුරුන් මතදැයි යන ප්‍රශ්නය පවා මතුවේ. මෙය කිසිසේත් ආණ්ඩුවේ දිගුකාලීන පැවැත්මට හිතකර තත්වයක් නොවේ.

අවසාන වශයෙන් අපට කියන්නට ඇත්තේ ඕනෑම නතරවුණු ඔරලෝසුවක් පවා දවසකට දෙවතාවක් නිවැරදි වේලාව පෙන්වන බවය. මෙය පී.බී. ට පමණක් නොව තවත් බොහෝ අයටත් අදාළ කරගත හැකිය.

(LNW)