Wednesday, May 01, 2024
Follow Us
යටගිය ජාතික ආණ්ඩු කතාව නැවතත් !

ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගෙන ඒ හරහා කැබිනට් ඇමති ධුර ප්‍රමාණය 20 කින් වැඩි කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. මේ සඳහා වන යෝජනාව මේ වනවිටත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46(4) වගන්තිය අනුව ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ කැබිනට් ඇමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 ක් දක්වා සීමා විය යුතු බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂය තවත් පක්ෂයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමග එක්ව ජාතික ආණ්ඩවුක් පිහිටුවන්නේ නම් කැබිනට් ඇමති ධුර වැඩිකර ගැනීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට කැබිනට් ඇමති ධුර ලබාදීම සඳහා මීට පෙර ද ජාතික ආණ්ඩු යෝජනාව ගෙනඒම සඳහා සූදානම් වුවද ඊට එල්ල වූ විරෝධය හමුවේ එය හකුළා ගැනිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අතර එම පක්ෂයේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවට පිටින් ගොස් නීතිවිරෝධී ආකාරයෙන් කැබිනට් ඇමති ධුර වැඩි කිරීම සඳහා ආණ්ඩුවට ඉඩ නොතබන බවයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂය හා තවත් පක්ෂයක් එක්ව ජාතික ආණ්ඩුවක් ගොඩනැගිය හැකි නමුත්, යම් යම් පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩු ගොඩනැගිය නොහැකි බවයි ඔහු පවසන්නේ. ආණ්ඩුවේ මෙම උත්සාහය ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවත්, කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකුට වඩා දිවුරුම් දීම වැළැක්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(LNW)