Wednesday, May 01, 2024
Follow Us
පක්ෂයෙන් පිට යන්න බැහැ - දයාසිරිගෙන් පහළ මන්ත්‍රීවරුන්ට රතු එළියක්

පොදු සන්ධානයක් පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ජාවෙන් පසුව බව ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු ගන්නේ පක්ෂයක් ලෙස මිස එක් එක් පුද්ගලයන්ගේ අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් පෙනී නොසිටින බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ජනාධිපතිවරයා සමඟ සිටිමින් පක්ෂයක් ලෙස තීන්දු ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ගැන සිතන බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ අගෝස්තු 11 වෙනිදා පැවැත්වෙන සමුළුවට මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති අතර පක්ෂයක් ලෙස ආරාධනා ලැබුණොත් පමණක් ඊට සහභාගී වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර වෙනත් පක්ෂ සහ කණ්ඩායම ප්‍රවර්ධනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ වන විටත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කණ්ඩායමකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

පක්ෂය ගන්නා තීන්දුවකට හැර වෙනත් කිසිම තැනකට යෑමෙන් වළකින ලෙස මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

(LNW)