Tuesday, August 26, 2025
Follow Us
ඇමති ශෂීන්ද්‍ර සමඟ වාහනය පුබ්බාර ඔයේ ගසා ගෙන යයි

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මැදගම, පුබ්බාර ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් ගනිද්දී පුබ්බාර ඔයේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට මුහුණ දී තිබෙන අතර එම අවස්ථාවේදී රථය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ද සිට ඇති අතර අනතුරෙන් ඇමතිවරයාට කිසිදු හානියක් සිදුව නැතැයි පොලිසිය සඳහන් කළේ ය.

ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පුබ්බාර ඔයේ ජලය මැදගම මොනරාගල මාර්ගය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ප්‍රචණ්ඩ ලෙස ගලාගෙන යද්දී ඇමතිවරයා ගමන් ගත් රථය ඒ හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී සැඩ පහරට හසුවී පාලමේ සිට මීටර 10ක් පමණ පහළින් පුබ්බාර ඔයේ ගසාගෙන ගොස් රැඳී තිබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඇමතිවරයා ආරක්‍ෂිත ලෙස ගොඩට ගෙන ඇති බව වාර්තා වේ.

(Aruna)