Tuesday, August 26, 2025
Follow Us
රවී වෙනුවෙන් එජාපය ඉදිරියට - අවශ්‍ය සියලුම නීති සහය දෙන්නැයි නායකත්වයෙන් උපදෙස්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මේ වන විට අත්අඩංගුවේ පසුවන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස පෙනී සිටීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හිටපු මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය නීතිමය සහය සහ දේශපාලන සහය ලබා දීමටයි වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව එජාප හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්‍ය කරන සියලු නීති සහය, උපදෙස් සහ නීති ආධාර වහාම ලබා දෙන පක්ෂයේ නීති අංශයට දැනුම් දී තිබේ.

මෙම ප්‍රශ්නදී පක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන එජාප ජ්‍යෙෂ්ඨයින් සමඟ වික්‍රමසිංහ මහතා සාකච්ජා කර ඇති බවද සඳහන්.

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ මෙම මහ බැංකු බැඳුම්කර ගණුදෙනු මඟින් සිදුව ඇති බව කියන වංචාවන් ගැන හිතපුඅ අගමැතිවරයා ලෙසත් එජාප නායකයා ලෙසත් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වූයේ එහි කිසිදු වංචාවක් සිදුව නොමැති බවයි. එමඟින් රටට කිසිදු අලාභයක් සිදුව නොමැති බවයි ඔහු සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් "Perpetual Treasuries" සමාගමට අයත් මුල්‍ය වත්කම්වලින් රුපියල් කෝටි 120ක් ශ්‍රී ලංකා මහා බැංකුව රඳවා ගෙන ද සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා තිබුණි.

එමෙන්ම මෙම ආන්දෝලනාත්මක සිදුවීමේදී "Perpetual Treasuries" හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන නිසා මේ ගණුදෙනුවේදී දී අයුතු බලපෑමක් සිදු වුණා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයට ද තමන් කටයුතු කළ බව වික්‍රමසිංහ මහතා තහවුරු කර තිබේ.

(LNW)