Tuesday, August 26, 2025
Follow Us
රංජන්ගේ සිරමැදිරිය අසළ වළදමා තිබූ ජංගම දුරකථනයක් සොයාගනී

බන්ධනාගාර බුද්ධි ඒකකය ලද තොරතුරක් මත බුද්ධි ඒකකයේ නිලධාරීන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ Y විශේෂ අංශය හා එම අංශය අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ පෙරවරු 11.40ට පමණ මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

එහිදී Y විශේෂ අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ එමි අංක සඳහන් නොවන ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකථන අංකයක් සොයාගෙන තිබේ.

මෙම Y අංශය තුළ රංජන් රාමනායක මහතා ඇතුළු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බව චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම දුරකථනයද රංජන් රාමනායක සිරකරුට ලබාදීමට රැගෙන ආ දුරකථනයක් දැයි සැක සහිත අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ජංගම දුරකථනය පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතයි.

(Aruna)