Sunday, May 05, 2024
Follow Us
ඡන්දේ කාලේ දී කතා කළ රටවිරුවන් දැන් අමතකයි

ලංකාවේ ගමන් බලපත්‍රය තිබෙන සියලු පුරවැසියන්ට රටට පැමිණීමට අවස්ථාව තිබිය යුතු බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එම අවස්ථාවේදී අබේවර්ධන මහතා මෙසේද කීය.

රැකියා සඳහා විදේශගතව සිටින මෙරට ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයයි. එම සංඛ්‍යාව පහළොස් දහසකට (15000) ඉක්මවනවා.

‘‘කොරෝනා වයිරසය හේතුවෙන් අපේ ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණ පා සිටිනවා. විවිධ දුක් ගැහැට මධ්‍යයේ සොච්චම් මුදලක් උපයාගෙන මෙරටට පැමිණෙන අපේ ජනතාව සම්බන්ධව ආණ්ඩුව අනුගමනය කරන අසාධාරණ ක්‍රියා පිළිවෙත නිසා ඔවුන් තවත් අසරණ තත්ත්වයට පත් වෙනවා. මෙම ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයත් අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් දිගින් දිගටම හඬ නැගුවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ විදේශ රටවල සිට පැමිණෙන අපේ ජනතාව ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට යොමු කරන ලෙසයි.

නමුත් අවාසනාවකට මෙන් දිගු කාලයක් තිස්සේ ඒ ජනතාව වෙනුවෙන් අපි හඬ නැගුවත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැහැ.

විදේශගතව මෙරටට පැමිණෙන අපේ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලට යාමට ඉඩ නොදී අධික මුදලක් අය කරමින් ප්‍රධාන හෝටල්වල ඔවුන් නිරෝධායනයට යොමු කළා. එලෙස හෝටල්වල නිරෝධායනය වීමේදී අධික මුදලක් ගෙවිය යුතුයි. එය අපේ ජනතාවට දරා ගැනීමට හැකියාවක් නැහැ. මුදල් තිබෙන අය හෝටල්වල නිරෝධායනය වෙන්න කැමති නම් ඒ අයට ඉඩ දිය යුතුයි. එසේ නොමැතිව දුක් මහන්සියෙන් සොයාගෙන එන මුදල් හෝටල්වලට නාස්ති කරවීම බලවත් අසාධාරණයක්. ලෝකයේ වෙන කිසිදු රටක් මේ අකාරයට කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන අය නැවත ලංකාවට පැමිණීමේදී විශේෂ අවසරයක් ලබා ගත යුතු බවට ප්‍රකාශ කරනවා. නමුත් එවැනි බලපත්‍රයක් තිබෙනවා නම් ඔවුන්ට මේ රටට පැමිණීමට කාගෙවත් අවසරයක් ගත යුතු නැහැ. මෙලෙස අපේ ජනතාවට හිරිහැර කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

මැතිවරණ සමයේ මේ අයව හැඳින්වූයේ රටවිරුවන් ලෙසයි. නමුත් ඡන්දය දිනාගත්තාට පසු ඔවුන්ව නොසලකා හරිමින් කිසිදු වැදගැම්මකට නැති පිරිසක් බවට පත් කර තිබෙනවා. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් කොරෝනා සඳහා එන්නත ලබාගෙන පැමිණියොත් නිවෙස්වලට යාහැකි බවට පසුගියදා ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණා. නමුත් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබෙන්නේ එය නොවේ. විදේශ විනිමය රැගෙන එන මෙම ජනතාවට කටුනායක ගුවන් තොටුපළේදී කොරෝනා එන්නත ලබාදී නිරෝධායනය සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යැවීමයි.

(Aruna)