Sunday, May 05, 2024
Follow Us
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්න – ජනාධිපති

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි අදාළ පාර්ශ්වයන්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණු පොතේ පහත සඳහන කර තිබුනි.

කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීම අවශ්‍ය වේ.

රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ තීරණ ගෙන ඇත.

ජාතිකවාදී රජයක් බලයට පැමිණි සෑම අවස්ථාවකදීම දේශීය මෙන්ම විදේශීය බලවේග එය බිඳ දැමීමට ක්‍රියා කළේය. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් ඉවත් කිරීමට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයට හසු වීමෙන්, පසුගිය වසර 05 තුළ රට කොතරම් පසුපසට ගමන් කළේද යන්න වටහා ගත යුතුය. ඒ නිසා සමස්ත රට මෙන්ම භික්ෂුන් වහන්සේ, රණවිරුවන් පත්වූ අපහසුතාව ජනතාව අවබෝධ කරගෙන සිටිති.
රජය වර්තමානයේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එකී බලවේග නැවත උත්සාහ දරමින් සිටී. ඊට හසු වුවහොත් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන ජනතාව දැනුවත් කිරිම ඉතා වැදගත් වේ.
ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීමට විශාල වැඩකොටසක් කර තිබේ. රැකියා උත්පාදනය කෙරෙන සහ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ඇත.
පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂය විවිධ මත ඉදිරිපත් කරයි. කාදිනල්තුමාගේ එකඟතාව සහ විශ්වාසය මත කොමිෂමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණ. පෙබරවාරි 01 දා භාරදුන් වාර්තාව දින 28ක් තුළ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් කොමිෂන් සභා වාර්තාව සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යයි. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තබා ඇත.

විශාල ආන්දෝලනයක් ඇති කළ MCC ගිවිසුම ඉවත් කරගෙන තිබේ. රණවිරුවන්ට හා රටේ ස්වෛරීත්වයට දැවැන්ත පහරක් එල්ල කළ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවට දුන් සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනිණ. කෙටි කාලයක් තුළ රට වෙනුවෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග ගැන කිසිවෙක් කතා නොකරති. එසේ වුවද ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු හා ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් රටේ උන්නතිය උදෙසා කැප වීම රජයේ අරමුණ වේ.

(Lanka LEads)