පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ඵලදායී පියවර නොගැනීම, ආරක්ෂක නිලධාරීන් සතු රාජකාරී යුතුකම් සහ වගකීම් පැහැර හැරීමක් බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (8 වැනිදා) විභාගයට ගැනීමට නියමිතය.
පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇත. පෙත්සම් විභාගය හෙට (9 වැනිදා), අනිද්දා (10 වැනිදා) පැවැත් වේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
වගඋත්තරකරුවන් උසාවි කැඳවා ඔවුනට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට ප්‍රමාණවත් වැදගත් කරුණු පෙත්සම්වලින් ඉදිරිපත් වී ඇති බවට ඒකමතිකව තීරණය කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල අද (8 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් සියලුදෙනාට නොතිසි මගින් දැනුම් දී ඇත.
මොහොමඩ් සහරාන් නායකයා වූ ‘තව්හිද් ජමාත්’ අන්තවාදී සංවිධානයේ මෙහෙයවීමෙන් කතෝලික පල්ලිවලට සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල විය හැකි බවට බුද්ධි අංශවලින් තොරතුරු ලබාදී තිබියදී ඒ ගැන නොසලකා හැරීම, දේශපාලන සහ මහජනතාවගේ ආරක්ෂාවට වහාම පියවර නොගැනීම සමාව දිය නොහැකි බරපතළ වරදක් බවත්, පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සිසුවියන් දෙදෙනකුගේ පියා වන වැල්ලම්පිටිය වෙන්නවත්ත පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති අයද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලුදෙනාම බෞද්ධයන් වුවත් සිසුවියන් දෙදෙනා එදින පල්ලියට ගොස් ඇත්තේ ඉරිදා අධ්‍යාපන කටයුතු සඳහා දේවාශිර්වාදය ලබා ගැනීමටයි.
(Aruna)