Monday, August 25, 2025
Follow Us
වෛරයෙන් හාස්‍යයෙන් ඕපාදූපයෙන් පිරුණු ලයිට් කණු දේශපාලනය ඉවරයි

'විදුලිය, පානීය ජලය යනු මිනිසාගේ මූලික අයිතිවාසිකමක්. එහෙම නැතිව ඡන්ද පොරොන්දුවක් නොවෙයි. අපේ දේශපාලන ඉතිහාසයේ තිබූ නූගත්කම හේතුවෙන් මෙම මූලික අයිතිවාසිකම් ඡන්ද පොරොන්දුවලට පමණක් සීමාවූ යුගයක් තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව රටේ සෑම පුරවැසියෙකුටම විදුලිය, ජලය කියන මූලික අයිතිවාසිකම තවදුරටත් දේශපාලන පොරොන්දුවක් හෝ මුලාවක් වන්නේ නැහැ. ඒවා යථාර්ථයක් කිරීම ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රතිපත්තිය සහ වගකීම' යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

වසර ගණනාවක් ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසදුමක් වශයෙන් මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අදියර වශයෙන් යටියන ජල ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

මාතර සමස්ත ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් දෛනිකව පානීය ජලය ඝන මීටර් 60,000 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර මේ යටතේ 2025 වනවිට මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාළිම්බල, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, අතුරලිය, බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ජීවත්වන 285,000 ක් පමණ පිරිසකට පානීය ජලය ලබාදීමට බලාපොරොත්තුවේ වේ.

මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

'අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වරදින් විටෙක එය වෛරයෙන්, තවත් විටෙක හාස්‍යයෙන් තවත් විටෙක ඕපාදූපවලින් පිරෙනවා. ඒ ‍වරදේ ප්‍රතිපලයක් හැටියට වැලිගම, කඹුරුපිටිය, මාතර, මාලිම්බඩ සහ දෙවිනුවර වැසියන්ට වසර 4 ක් පුරා පානීය ජල ගැටළුවකට මුහුණ දීමට සිදුවුණා. කඹුරුපිටිය සංවර්ධනය කිරීමේ යෝධ අභිලාශයන්ගේ මූලිකම එකක් තමයි ජනතාවගේ පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීම. රජයක් වශයෙන් මේ ආකාරයෙන් යුතුකම්, වගකීම් ඉටු කරද්දි, පාරිභෝගිකයා වශයෙන් ජනතාවගෙන් ඉටුවිය යුතු යුතුකමකුත් තිබෙනවා. ජලය කියන්නේ වටිනා සම්පතක්. ඒ නිසා ජලය නලය මගින් නොමිලේ පැමිණියත්, කලයේ ජලය මෙන් සුරැකීම ඔබගේ පරම යුතුකමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වනවිට අනතුරු අඟවලා තිබෙනවා 2025 වනවිට ලෝක ජනගහනයෙන් හරි අඩක් පානීය ජල ගැටළුවකට මුහුණ දීමට නියමිත බව. ඉතිහාසයේ යුද්ධ ඇතිවුනේ භූමියට, ඇත්දළවලට, රන් රිදී මුතු මැණික්වලට. නමුත් ජලය සංරක්ෂණය නොකලොත්, නුදුරු අනාගතයේදී ජලය වෙනුවෙන් යුද්ධ ඇතිවීම වළක්වන්න අපිට අපහසු වේවි' යැයි පැවසීය.

මේ වනවිට ලෝක ජනගහනයෙන් බිලියන 2 කට පානීය ජලය නොමැති බවත්, බිලියන 4 කට සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් පවා ජලය නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ තත්ත්වය අතිශය භයානක බව පැවසීය. මෙම ජල ගැටළුව ශ්‍රී ලංකාව තුලද මේ වනවිට උග්‍රවී ඇති බැවින්, වසර 2025 වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 85% කට පානීය ජලය ලබාදීමට රජය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද පැවසීය.

(LNW)