Thursday, March 28, 2024
Follow Us
රටවිරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් හඩ නගද්දී පාර්ලිමේන්තුව වෙලාවටත් කලින් කල් තියයි

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙහි අවධානය යොමුකරන අතරේ ඊයේ (24) දිනයේදී පාර්ලිමේන්තු සභාව තුළ උණුසුම් තත්වයක් මතුවිය.

ඊයේ දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු අවසානයේ තවත් විනාඩි 15ක කාලයක් ඉතිරිව තිබුණු බැවින් එම කාලයෙන් විනාඩි 5ක් ලබාගෙන රටවිරුවන් මුහුණ දී සිටින ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවෙ අවධානය යොමුකිරීමට සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව මෙරටට පැමිණිමේ බලාපොරොත්තුවෙන් සිටින 40000ක පමණ රටවිරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව ඒ මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.

මෙහිදී මීට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙය න්‍යාය පත්‍රයේ නොමැති කරුණක් නිසාත් මේ ප්‍රශ්නවල පිළිතුරු දීමට ඇමතිවරුන් සභාවේ නොමැති නිසාත් මීට ඉඩදිය නොහැකි බවකි. කෙසේවෙතත් මෙය හදිසි ප්‍රශ්නයක් ලෙස සලකා මෙම කරුණු දැක්වීමට ඉඩදෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊට දිගින් දිගටම දැඩි විරෝධය පළ කළේ අවසානයේ මේවාට පිළිතුරු නොමැතිව මේ කතාව පමණක් මාධ්‍ය හරහා විකාශය වීමෙන් ආණ්ඩුවට අවාසියක් සිදුවන බව පවසමිනි.

ඔවුන් දෙදෙනා අතර උණුසුම් විවාදාත්මක තත්වයක් මතුවෙද්දී සජිත් ප්‍රේමදාස මහතාට සිය කරුණු දැක්වීම අවසන් කිරීමට අවස්ථාව නොදී කථානායකවරයාගේ ද අනුමැතිය මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සභාව කල්තබන ආකාරය දැකගත හැකිවිය.

(LNW)